අද (29දා) දහවල් 12 වනතුරු ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළ බැවින් සවස 4න් පසු සේවයෙන් ඉවත් වීම ස්ථිරවම සිදුවන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි.
මේ අනුව වෘත්තීය සමිති 40කට ආසන්න පිරිසක් වැඩවර්ජනයට සහභාගි වන බවත්, මෙම පිරිස අතර දුම්රිය දෛනිකව ධාවනය කිරීමට යෝග්‍යතා සහතිකය ලබාදිය යුතු කණ්ඩායම් සිටින බවද එම කමිටුවේ සභාපති සම්පත් රාජිත මහතා සඳහන් කළේය.
ඉන්ධන, ඔයිල් හා තෙල් මැදිරිවල තත්ත්වය සලකා බලා යෝග්‍යතා සහතික නිකුත් කරන බවත්, එහෙත් සවස 4න් පසු යෝග්‍යතා සහතිකය ලබා නොදෙන බවද හෙතෙම කියා සිටියේය.
තර්ජනය කර සේවකයන් සේවයට කැඳවා ගැනීමට උත්සාහ කරමින් සිටින බවත්, අනවශ්‍ය ආකාරයට සේවකයන්ට බලපෑම් කළහොත් පැය 48න් වැඩවර්ජනය අවසන් නොකරන බවත් ඔහු සඳහන් කළේය.
ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් පැය 48ක වැඩවර්ජනයක් සිදු කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.