දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක ඉකුත් 21 දා ජීව අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම සිද්ධියෙන් තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින යුද හමුදා විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ බලලත් නිලධාරි (11) ඒ.එම්.ජේ.එල්.කේ. චන්ද්‍රසේන සැකපිට අත්අඩංගුවටගත් බව දියතලාව පොලීසිය පවසයි.
පීඩාකාරී ආයුධ පනතට ගැනෙන ජීව අත්බෝම්බයක් අනාරක්ෂිත ලෙස මගීන් ගමන් කරන බස්රථයකින් රැගෙන විත් එය පිපිරවීමට සැලැස්වීමෙන් පුද්ගලයන් 19 දෙනෙකුට තුවාල සිදුකිරීම හා බස්රථයට රුපියල් ලක්ෂ 50 ක අනර්ථයක් සිදුකිරීමේ චෝදනාව යටතේ ඔහුට නඩු පවරන බවද පොලීසිය සඳහන් කළේය.
යාපනය සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ ප්‍රථම බසයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන හා බණ්ඩාරවෙල සිට මෙම මගින් මාරු කරනු ලදුව බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ධාවනයවූ බෝම්බය පිපිරුන බසයේ ගමන් කරද්දී තුවාල ලබා දියතලාව රෝහලේම ප්‍රතිකාර ලබන දියතලාව ගුවන් හමුදා කඳවුරේ නායක භටයෙකුගේ සාක්කි අනුව සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු වරද පිළිගත් බවද පොලීසිය පැවසීය.
මුලතිව් යුද හමුදා 2015 වසරේ රාජකාරි කරද්දී ත්රස්තවාදීන්ට අයත් මෙම බෝම්බය හමුවූ බවත්, 2017 මුලතිව් කඳවුරේ සිට ස්ථාන මාරුවක් ලබා එන විට එය රැගෙන විත් මාතලේ උඩිස්පත්තුව පිහිටි තම නිවස සහිත පර්චස් 13 ක වත්තේ ගසක් යට එය වළදා තිබූ බවත් සැකකරු පවසා තිබේ.
තමා රුපියල් ලක්ෂ 16 ක් පමණ මුදලක් ණයවී තිබීම නිසා සියදිවි නසාගැනීම තීරණය කළ බවත්, ගෙවත්තේ වළ දමා තිබූ මෙම ජීව අත්බෝම්බය එම අරමුණින් ගෙදර සිට රැගෙන ආ බවද සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.
සිය දිවි නසාගත් විට විශ්‍රාම වැටුප් හා අනෙකුත් දීමනා යැපෙන්නන්නට නොලැබෙන නිසා රාජකාරි වේලාවේ අත්වැරදීමකින් පිපුරා ගිය බවට ඒත්තු ගැන්වීම සඳහා රාජකාරි වේලාවක පුපුරුවා ගැනීමට සිතා සිටි බවද සඳහන් කර තිබේ.
කෙසේ නමුත් බසයෙන් බසින්නට සූදානම්ව අත්බෝම්බය අතට ගන්නා විට ගමන්මල්ලේ තිබු අත් බෝම්බය බිම වැටන්නට ගිය බවත් එය අල්ලා ගැනීම පහත්වූ විටම දෙපාමුල වැටුන බෝම්බය පුපුරා ගිය බවත් සැකකරු පැවසී යැයි පොලීසිය සඳහන් කළේය.
තමාගේ උදරයට දෙපාවලට හා අතකටත් බරපතළ තුවාල සිදුවු බවද සැකකරු පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර, ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අරුණ ප්‍රේමශාන්ත හා බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත දියතලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.කේ. හරිත් මහතා ප්රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් විමර්ශන සිදුකළහ.