දැරණියගල නූරිය වතුයායේ වතු අධිකාරි එන්.ඒ. නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති නියෝග ලැබෙනතුරු දැරණියගල ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් විසිතුන් දෙනා ලබන මස 10 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අවිස්සාවේල්ල ප්රධාන මහේස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරු ඩී.එච්. අනුෂ්ක සෙනෙවිරත්න මහතා අද (27දා) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් විජේකෝන් මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම නඩුව සම්බන්ධයෙන් වන ගොනුව නීතිපතිවරයා වෙත යවා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වනතුරු උපදෙස් ලැබී නැති බවත් ඔහු අධිකරණයට පැවසීය. නීතිපති උපදෙස් ලැබෙනතුරු සැකකරුවන් තවදුරටත් රක්ෂිත භාරයට පත්කරන ලෙසද විජේකෝන් මහතා අධිකරණයෙන් ඉල්ලීය.
මීරිගම එම්.එම්. කාන්ති