පසුගිය 2015 අගෝස්තු 17 වැනි දිනට ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කවුරුන්දැයි තමන්ට ලිඛිතව දන්වන මෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා ආගමන විගමන පාලකවරයාට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යවමින් අද (08දා) ඉල්ලීමක් කර තිබේ.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ විධිවිධාන යටතේ තමාට ඇති අයිතිය අනුව මෙම ඉල්ලීම කරන බවත්,මෙම තොරතුරු චේතනාන්විතව නොසපයා සිටිම හෝ වැරදි තොරතුරු සැපයීම එකී පනතේ 39 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ගම්මන්පිල මහතා සඳහන් කරයි.
යම් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ද්විත්ව පුරවැසියෙකු වීම පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් දැරීමට නුසුදුසුකමක් බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙන බවත්,එබැවින් නීතියෙන් නුසුදුසු අය පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ලෙස කටයුතු කරන්නේදැයි දැනගැනීමට ජනතාවට අයිතියක් තිබෙන බවත් ඒ මහතා ප්රකාශකළේය.
ගමන් බලපත්රයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම්පතේ තමන් ද්විත්ව පුරවැසියෙකුදැයි සඳහන් කළයුතුබවත්,එම මන්ත්රීවරුන්ගේ ගමන් බලපත්ර අංක හෝ ජාතික හැඳුනුම්පත් අංක පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවෙන් ලබාගත හැකි බවත් මන්ත්රීවරයා පැවසීය.