දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කරන්න එපා
දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය රථවාහන සඳහා නැවත විවෘත කළ යුතුද, නැද්ද යන්න පිළිබඳව රට තුළ සංවාදයක් ඇතිව තිබුණද, දළදා මාලිගාවේ ආරක්ෂාවටත්, බෞද්ධ ජනතාවට අවශ්‍ය ආගමික පරිසරය ඇති කිරීම සඳහාත් එම මාර්ගය විවෘත නොකළ යුතු බව රංගිරි දඹුලු රජමහා විහාර සංඝ සභාවේ ගරු සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ අවධාරණය කළහ.
මෙම මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ පැවැති මාර්ගයක් බවත්, එය වසාදැමීම නිසා මහජනතාව අපහසුතා රාශියකට මුහුණපා සිටින බව පැවසුවද, අතීතයේදී එවැනි පාරක් තිබුණු බවට සඳහනක් නොමැති බවද උන්වහන්සේගේ අත්සනින් යුතුව මාධ්‍යයට නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
අතීතයේදී මෙවැනි පාරක් නොමැති වුවද බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම මාර්ගය ඉදිකර තිබෙන බවත්, එවැනි මාර්ගයකට ඓතිහාසික වටිනාකමක් නොමැති බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
මෙම මාර්ගය වසා තැබුවේ ඇයිද යන්න වැදගත් ප්‍රශ්නයක් බවත්, එම මාර්ගය වසා තබා තිබෙන්නේ දළදා මාලිගාවේ ආරක්ෂාවට සහ බෞද්ධ ජනතාවට ආගමික පරිසරයක් ඇති කිරීමට බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.
බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවත්, රාජ්‍ය නිලධාරීනුත් බැඳී සිටින බවත්, මෙම මාර්ගය වසා තැබීමෙන් මහජනතාව අපහසුතාවට පත්වෙනවා සේම ඒ සඳහා විකල්ප ලබාදීම රජය විසින් සිදුකළ යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

