දෙමවුපියන් තම දරුවන් පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවත්, දරුවන් පිළිබඳව දෙමවුපියන්ට විශාල වගකීමක් පැවරී ඇති බවත් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
දරුවන්ට රැකවරණය, ආරක්ෂාව ලබාදීම දෙමවුපියන් සතු වගකීමක් බව පැවසූ පොලිස් අධිකාරීවරයා, එය අමතක කර කටයුතු නොකරන ලෙස දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටී.
හෙතෙම මේ බව පැවසුවේ පසුගිය 11 වැනිදා අතුරුදන්ව ඊයේ (13දා) හමුවූ කොටදෙනියාව ප්‍රදේශයේ දැරියගේ මළසිරුර සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව අද කළ විමසීමකදීය.
ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේ නිවසක සිටියදී පසුගිය 11 වැනිදා අලුයම් කාලයේ සිට අතුරුදන්ව සිටි දැරියගේ මළසිරුර ඊයේ (13දා) නිවස ආසන්නයේ ඇළ ඉවුරක තිබී පොලීසිය විසින් සොයාගනු ලැබිණි.
දියණිය අතුරුදන් වී ඇති බවට ලද පැමිණිල්ලට අනුව කොටදෙනියාව පොලීසිය පොලිස් නිල සුනඛයන් කැඳවා අතුරුදන් දැරිය සෙවීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර, මේ සඳහා කටාන හා දිවුලපිටිය යන පොලිස් ස්ථානවලද සහාය ලැබිණි.
වයස අවුරුදු හතර හමාරක් වයසැති සේයා සදෙව්මි බක්මීදෙණිය දැරියගේ මරණයට හේතුව ඊයේ සවස්වන විටත් සොයාගෙන නොතිබූ බවත්, අද (14දා) දිනයේදී පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව සොයාගත හැකි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම දැරිය පසුගිය සිකුරාදා (11දා) රාත්‍රියේ රූපවාහිනිය නරඹමින් සිටියදී සාලයේ නින්දට වැටී සිටි බවත් පසුව ඇගේ මව විසින් සෙසු දරුවන් සමග කාමරයට ඇඳේ නිදිකරවූ බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි. වෑන් රියේ ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කර තමා රාත්‍රී 12.10ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ දියණිය ඇඳේ නොසිටි බවත් ඇය ආච්චි අම්මා ළඟ නිදාගන්නට ඇතැයි සිතා අනෙක් දරුවන් සමග නින්දට ගිය බවත් දැරියගේ පියා පවසා තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කණ්ඩායම් 03ක් පරීක්ෂණ පවත්වන බවද ඔහු පවසා සිටියේය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු භෞතික සාක්ෂි සහ විශේෂඥ සාක්ෂි මත පරීක්ෂණ පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ/ මීරිගම කාන්ති