මිත්‍ර සංග්‍රහය හේතුවෙන් චෝදනා ලැබූ දකුණු කොරියානු ජනපතිනී පාර්ක් ග්වෙන්-හයි සම්බන්ධ පාර්ලිමේන්තු දෝෂාභියෝගය පිළිගනිමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට හිස නමා ඉන් දින දෙකකට පසුව ජනපතිනිය අද (12දා) සිය ජනපති මැදුරෙන් නික්ම ගියාය.
'මේ සඳහා යම් කාලයක් ගතවේවි. ඒත් සැබවින්ම සත්‍ය හෙළිවනු ඇතැයි කියා මා විශ්වාස කරනවා' යනුවෙන් මෙම අධිකරණ තීරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබූ ජනාධිපතිනිය දකුණුදිග සෝල් නගරයේ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත පැමිණ තිබුණේ සිය ආධාරකරුවන්ටද ආචාර කරමිනි.
ජනාධිපතිනියගේ විරුද්ධවාදීන් ඇය වහා අත්අඩංගුවට ගත යුතු බවට සෙනසුරාදා දිනයේදී සෝල් නුවර දැවැන්ත පෙළ පාලි පැවැත්වූ අතර, ඇයගේ ආධාරකරුවන්ද ජනාධිපතිනියට සහාය දක්වමින් පෙළ පාලි පවත්වා තිබුණි.
මෙම නඩුව එරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී විනිසුරුවන් 8 දෙනෙකු ඉදිරියේදී සලකා බැලුණු අතර, එහිදී, බලයේ සිටි කාලය තුළ ඇය රටේ ව්‍යවස්ථාව මෙන්ම නීතිය දැඩි ලෙස උල්ලංඝනය කර ඇති බව එම විනිසුරුවන් ඒකමතිකව තීරණය කරමින් ජනපතිනිය දෝෂාභියෝගයට ලක්කිරීම සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීම අනුමත කර තිබේ.
දකුණු කොරියානු ජනාධිපතිනිය තමාගේ මිතුරියක මෙන්ම සහායිකාව වූ චොයි සුන්-සිල් වෙත සිදුකළ මිත්‍ර සංග්‍රහයක් මෙසේ ඇයට ජනාධිපති ධුරය අහිමි වීමට හේතු වී ඇත. විශේෂයෙන්ම දේශපාලනික සහාය පළ කිරීම්වලට හිලව් වශයෙන් එරට සමාගම්වලින් කප්පම් ලබාගැනීම සඳහා මෙම හිතවතියට සහාය දැක්වීමට ජනපතිනියට කටයුතු කර තිබුණු අතර, මේ සම්බන්ධයෙන් ඇයට අපරාධ පරීක්ෂණයකටද මුහුණ දීමට සිදුවනු ඇත.
ඉදිරි දින 60ක කාලය තුළ දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බවද විදෙස් වාර්තා පවසයි.

.jpg)