සුපිරිසුදු ථේරවාදී බුදුදහම අදටත් විරාජමානව පවතින තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික බැඳීම මෙන්ම සමාජීය පරිසරය විශිෂ්ටත්වයෙහිලා සැලකිය හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දෙරටේ මිත්‍රත්වය මෙන්ම අන්තර්ජාතික කටයුතුවලදී බෞද්ධ වශයෙන් තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහයෝගීතාවයද වඩ වඩාත් පැසසිය යුතු බවත්, ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.
ජනාධිපතිතුමන් මේ බව ප්‍රකාශ කර සිටියේ දිවයිනට පැමිණ සිටින තායිලන්ත විශේෂ බෞද්ධ දූත පිරිසක් ඊයේ (26 දා) අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදීය.
දින හයක විශේෂ වන්දනීය සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින තායිලන්තයේ උඩොංතානි ප්‍රාන්තයේ වැඩ වාසය කරනු ලබන මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේ නමක් වන අතිපූජ්‍ය ලොන්ග්පොහො සොම්කියාට් චිතමරෝ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු අටදෙනෙකුගෙන් යුත් මෙම දූත පිරිස, ජනාධිපතිතුමන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සෙත් පිරිත් සඡ්ඣායනා කොට ආශිර්වාද එක් කළහ.
බෝධීන් වහන්සේලා තුන් නමක්ද අඩි පහක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේලා තුන් නමක් සහ කොත්මලේ මහවැලි මහා සෑ විහාරස්ථානයේ සිට ධාතූන් වහන්සේලා ද තායිලන්තය බලා වැඩම කරවීමට නියමිත අතර, ජනාධිපතිවරයා විසින් මෙහිදී බෝ අංකුර නමක් චිතමරෝ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත පූජා කෙරිණි.
ඡායාරූප ජනපති මාධ්‍ය අංශය