තායිලන්තයේ අභිනව රජු ලෙස මහා වජිරාලොන්ග්කෝර්න් කුමරු නම් කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට එරට තුළ ඇරඹී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී නව රජු ලෙස පත්වීම් ලැබීම සඳහා එරට පාර්ලිමේන්තුව විසින් කුමරු වෙත නිල වශයෙන් ඇරයුමක් සිදුකළ යුතු අතර, එම ඇරයුම පිළිගැනීමෙන් පසුව පමණක් නව රජු රාජ්‍යත්වයට පත්වන දිනය නිවේදනය කිරීම සිදුවනු ඇත.
තායිලන්ත වැසියන්ගේ හදවතේ රජු ලෙස දීර්ඝ කාලයක් එරට රාජ්‍යත්වය දැරූ භූමිබෝල් අදුල්යාදේජ් රජු පසුගිය ඔක්තෝබර් 13 වැනිදා අභාවප්‍රාප්ත වීමෙන් පසුව එරට තුළ තවමත් රජු වෙනුවෙන් වූ ශෝක කාලයක් පවතී.
එහිදී, භූමිබෝල් රජුගේ අභාවයෙන් පසුව එරට රාජකීය උරුමය ලැබූ මහා වජිරාලොන්ග්කෝර්න් කුමරු වෙත රාජ්‍යත්වය පිරිනැමීමට නියමිතව තිබුණත්, සිය පියා වෙනුවෙන් අවසන් ගෞරව දැක්විය යුතු බැවින් එම කටයුතු පසෙකට කල් දැමීමට කුමරු අදහස් කරන බව එරට රජය මීට පෙර පවසා තිබුණි.
නීත්‍යනුකූල තත්ත්වයන් කුමක් වුතත්, තමා රජ්‍යත්වයට පත්වීමට පෙර තායි ජනතාවට සිය පියා වෙනුවෙන් ගෞරව දැක්වීමට අවස්ථාවක් ලබාදීමට කාලය වෙන්කළ යුතු බවද මහා වජිරාලොන්ග්කෝර්න් කුමරුද පවසා තිබුණි.
කෙසේ වෙතත්, තායිලන්ත පාර්ලිමේන්තුවේ ජාතික ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා විසින් ඉදිරි දින කිහිපය තුළ කුමරු හමුවී ඔහුට නිල වශයෙන් රාජ්‍යත්වය භාරගන්නා ලෙස ඇරයුම් කිරීමට නියමිතව ඇති අතර, එහිදී, කුමරු එම ඇරයුම පිළිගතහොත් ඔහු නව රජු ලෙස නිල වශයෙන් පිළිගනිමින්, ඔහු රාජ්‍යත්වයට පත්වන දිනය නිවේදනය කරනු ඇත.
මේ අතර විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙහි දින වකවානු පිළිබඳ නිශ්චිත දැනුම්දීමක් සිදුකර නොමැති බවයි. දැනට එරට රාජ්‍යත්වය හිටපු අගමැතිවරයෙකු වූ ප්‍රේම් ටින්සුලානොන්ඩා යටතේ පවතී.
