රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් නමැත්තා ඝාතනය කළ දින ඔහුගේ වාහනය පිටුපසින් පැමිණි වාහනය සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදුකරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතාට දැනුම්දුන්නේය.මෙම අපරාධයට අදාළ තොරතුරු හෙළි කරගැනීම සඳහා එසේ කරන බවද, ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම් සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කොට ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළහ.රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් නමැත්තා ඝාතනය කරන ලදැයි කියන සිද්ධියේ සැකකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා මහතාද ලබන 26 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය එදින දැනුම්දෙන ලෙසද නියම කළේය.