යුද, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බලසේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටුකරන ලද සුවිශේෂී වූ විශිෂ්ට සේවයට උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.
විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂි ප්‍රදානයක් වන අතර එය හුදෙක් යුද හමුදාවේ ලූතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරින් වෙත සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන වසර 25 ක අඛණ්ඩ සේවා කාලයක් සහ විශිෂ්ට සේවා ඉතිහාසයක් ඇති නිලධාරින් වෙත පමණක් ප්රදානය කරනු ලබන පදක්කමකි.
ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව දිවිපිදූ රණවිරුවන්ට ගෞරව පිණිස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකින් පසු පදක්කම් ප්රදානය ආරම්භ කරන ලදී. ත්‍රිවිධ හමුදාවන්වල සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික නිලධාරීන් පනස් දෙනෙකු මෙහිදී ජනාධිපති අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලැබූහ.
ප්‍රථමයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන්ට ජනාධිපතිතුමා අතින් පදක්කම් ප්රදානය කෙරිණි.
ඉන් අනතුරුව සෙසු නිලධාරින් වෙත පදක්කම් ප්රදානය ද ජනාධිපති අතින් සිදුවිය.පදක්කම් ප්‍රදානයෙන් අනතුරුව පදක්කම් සමග පිරිස සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුථ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.