එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක බලපෑම යටතේ යුද හමුදාවට එරෙහිව චෝදනා පත්‍ර භාරදීමට හෝ නඩු ඇසීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.
ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියේ 'ජනපතිට කියන්න' නමින් ජනාධිපති ලේකම් කාර්යාලයක් විවෘත කිරීම සඳහා අද (04දා) යාපනය සංචාරයක නිරත වෙමින්, පලාලි යුද හමුදා කඳවුරේදී ආරක්ෂක සේනාංක අමතමිනි.
ජනාධිපතිවරයා එම කාර්යාලය විවෘත කිරීම සඳහා පැමිණෙමින් සිටියදී අතුරුදන් වූවන්ගේ ඥාතීන් යැයි කියාගන්නා පිරිසක් මහමග හරස් කරමින් උද්ඝෝෂණයක නිරතව සිටි බවද සඳහන් වෙයි. කෙසේ වෙතත්, පොලීසියේ මැදිහත් වීමෙන් එම පිරිස් මාර්ගයෙන් ඉවත්කර තිබේ.
මෙම විරෝධතා පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා, අත්‍යවශ්‍ය කරුණකට හැර හැමදේකටම උද්ඝෝෂණ පැවැත්වීමෙන් 'විරෝධය පළ කිරීමේ වැදගත්කම හීනවෙමින් පවතින බව' කියා සිටියේය.
උතුරේ පමණක් නොව රටේ සෑම පළාතකම ජනතාව ප්‍රශ්නවලට මුහුණදෙමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා, යාපනයේ ජනතාවට ඇති ප්‍රශ්න විසඳීම පිණිස ඉදිරි මාස තුන ඇතුළත තමන් අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සමග නැවතත් යාපනයට පැමිණෙන බවත් සඳහන් කළේය.
සෑම අමාත්‍යවරයෙකුම යාපනයට පැමිණ සිය අමාත්‍යංශයට අයත් කටයුතු නිම කොට ඒ පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවට දැනුම් දෙන බවත් ජනාධිපතිවරයා පවසා සිටියේය.
රට තුළ යළි යුද්ධයක් ඇතිවීමට තමන් ඉඩ නොතබන බවත් උතුරේ ජනතාව සමග සුහදව සියලු දෙනාට වාසය කළ හැකි පරිසරයක් උදා කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.