මහා පරිමාණ දූෂණ, වංචා නඩු දිනපතා විභාග කර කඩිනමින් තීන්දු ලබා දීමට හැකි වන පරිදි ත්‍රිපුද්ගල මහාධිකරණ 03ක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධිකරණ (සංවිධාන) පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබේ. >>P4
මෙම පනත් කෙටුම්පත මගින් ආරම්භ කිරීමට යෝජනා කරන විශේෂ මහාධිකරණයේ අපරාධ නඩු පැවරීමේ බලය නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ අධ්යක්ෂ ජනරාල්වරයාට ලැබෙන පරිදි සංශෝධනය කර ඇති අතර, එය සුදුසු නොවන බව නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා %අද^ට පැවසීය.
එමෙන්ම එක් කොට්ඨාසයකට පමණක් නඩු පැවරීමට යෑම වැරදිසහගත ක්‍රියාවක් බවත්, මෙම පනත් කෙටුම්පත තුළ තෝරාගත් වැරදි උපලේඛන ගතකර ඇති අතර, එයටද එකඟ විය නොහැකි බැවින් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බවත් සභාපතිවරයා පවසා සිටියේය.
එමෙන්ම මෙම පනත් කෙටුම්පත තුළ උපලේඛනගත කර ඇති ඇතැම් වැරදි විශේෂ මහාධිකරණයකදී නොව මහේස්ත්‍රාත් අධිකරණයකදී පවා විසඳා ගැනීමට හැකියාව ඇති බවත්, එබැවින් මෙම පනතට එකඟ විය නොහැකි බවත් නීතිඥ සංගමයේ මතය වූ බැවින් එය අභියෝගයට ලක්කළ බවද යූ.ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා, "මහාධිකරණයක ත්‍රිපුද්ගල විනිශ්චය සභා පිහිටුවීම සම්බන්ධයෙන් අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් පිහිටුවලා ඒ සම්බන්ධයෙන් තීරණයක් දීමට අදාළව අල්ලස් කොමසාරිස්තුමාට හා නීතිපතිතුමාට බලය පැවරීමට යෝජනා කිරීමට ඊට කලින් පැවැති ක්‍රමයට සම්පූර්ණයෙන්ම පරස්පර ක්‍රමයක්. කලින් තිබූ ක්‍රමයට අනුව ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් කරනවාද, නැද්ද කියලා තීරණය කරන්නේ අගවිනිසුරුතුමා. නීතිපතිතුමාට ඒ සම්බන්ධ ඉල්ලීමක් කිරීමේ හැකියාව තිබුණා.
නමුත් මේ කෙටුම්පත යටතේ එය නීතිපතිතුමාට, අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ අධ්යක්ෂ ජනරාල්වරයාට පැවරීම වැරදියි. නීතිපතිතුමාට සහ අල්ලස් කොමිසමේ ජනරාල්තුමාට හිතෙන විදිහට නඩු පවරන්න බලය ලබා ගැනීමක් තමයි මෙතැනදී වෙන්නෙ. එය සාමාන්‍යයෙන් සුදුසු නොවේ කියන මතයේ අපි ඉන්නෙ. මොකද පැමිණිල්ලත් ඒ අය , නඩු පවරන්නෙත් ඒ අය, මේ නිසා එය සුදුසු නොවේ කියන ස්ථාවරයේ අපි ඉන්නෙ.
ඊට අමතරව එක කොට්ඨාසයකට පමණක් නඩු පැවරීමට යෑම වැරදියි. මහාධිකරණයේ තිබෙන්නා වූ නඩු ප්‍රමාණය සම්බන්ධව මූලික අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුගත අනෙකුත් නීතිරීතිවලට අනුව මහාධිකරණ නඩු පැවරීම කළ යුතුයි. නමුත් මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර තිබෙන පරිදි සෑම චෝදනාවක් ඕනෑම වෙලාවක සිතෙන පරිදි නඩු පැවරීමට උපලේඛන ගතකර තිබෙනවා. ඒ උපලේඛන ගත කර තිබෙන චෝදනා සමහරක් මහේස්ත්‍රාත් උසාවියේදී විසඳා ගන්න පුළුවන් චෝදනා.
ඒ නිසා තමයි අපි මෙය අභියෝගයට ලක්කර නඩු පැවරුවේ. ඉදිරි දින කිහිපයේදී ඒ නඩුවට අවසර දෙන්න කතා කරයි. ත්‍රිපුද්ගල විනිශ්චය සභා පිහිටු වීම ප්‍රශ්නයක් නැහැ. නමුත් එසේ පිහිටුවලා කරන්න යන අනිත් කර්තව්‍ය වැරදියි. ඒ නිසා අපි කියන්නෙ මේ සංශෝධන සිදු නොකර පෙර පැවැති තත්ත්වයෙන්ම එය තිබිය යුතුයි කියලා " යැයි පැවසීය.
අපරාධ නඩු දිනපතා විභාග කර කඩිනමින් තීන්දු ලබා දීමට හැකි වන පරිදි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටු වීමේ අධිකරණ (සංවිධාන) පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් පසුගිය (06දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
සොරකම, දේපොළ වංක පරිහරණය, සොරකම් කළ දේපොළ සඟවා තැබීමට සහාය වීම, කූට ලේඛන සෑදීම, ගිණුම් වරදවා දැක්වීම, මුදල් විශුද්ධිකරණය, අධිකරණ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ අල්ලස් ගනුදෙනු, පොදු දේපොළ සොරකම් කිරීම ඇතුළු වැරදි ගණනාවක් වෙනුවෙන් වන නඩු මෙම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාග කිරීමට බලය ලැබෙන බව අදාළ පනත් කෙටුම්පතේ සඳහන් වේ.
මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය සඳහා අධිකරණ සේවා කොමිසම විසින් විනිසුරුවන් තිදෙනෙකු පත්කිරීමට යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයක හෝ නැවක හෝ ගුවන්යානයක ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විසින් සිදුකරන වැරදිවලට අදාළ නඩුද මෙම අධිකරණයේදී විභාග කිරීමට යෝජනා කර තිබේ.
නීතිපතිවරයා විසින් හෝ අල්ලස් සහ දූෂණ වැළැක්වීමේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරනු ලබන අධිචෝදනා පත්‍රයක් මත මෙම ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු විභාග කිරීමේ හැකියාව ලැබෙන බවද මෙහිදී සඳහන් කර ඇත.