කුරුණෑගල වැල්ලව ප්රදේශයේ විහාරස්ථානයක ධර්ම දේශනයක් පවත්වා ආපසු වැඩම කරවමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (20දා) රාත්රියේ කුරුණෑගලදී අත්අඩංගුවට ගැනීමට යාමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය.
කුරුණෑගල දඹුල්ල ප්රධාන මාර්ගයේ තෝරයාය ප්රදේශයේදී පොලිස් බස් රථයක් දමා මාර්ගය හරස් කර ඥානසාර හිමියන් ගමන් කරමින් සිටි වාහන අවහිර කර කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු කණ්ඩායමක් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදි මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවිය.
මේ අවස්ථාවේදී විශාල පිරිසක් එම ස්ථානයට ඒකරාශී වී ඥානසාර හිමියන් මේ ආකාරයට අත්අඩංගුවට ගැනීමට යාම පිළිබඳව පොලිස් කණ්ඩායමට දැඩි විරෝධය පළ කළහ.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට පැමිණ සිටියහ.
වැල්ලව පේද්දව සුළුගල් විහාරයේ පෙරේදා රාත්රියේ පවත්වන ලද ධර්ම දේශනාවට සහභාගි වූ ඥානසාර හිමියන් සමග බොදුබල සේනා සංවිධානයේ තවත් හිමිවරුන් පිරිසක් හා එහි සාමාජිකයින් පිරිසක් කුරුණෑගල දෙසට අපසු ගමන් කරමින් සිටියදී රාත්රී 11.00 ට පමණ මෙම සිදුවීම ඇතිවිය.
පොලිස් මාර්ග බාධකය හේතුවෙන් කුරුණෑගල දඹුල්ල ප්රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී පැය භාගයකට ආසන්න කාලයක් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇති විය.
මෙම සිද්ධිය දැනගත් එම මාර්ගයේ ගමන් කරමින් තිබූ ඇතැම් වාහනවල සිටි පිරිස්ද පැමිණ ඥානසාර හිමියන්ට සහාය පළකරමින් පොලීසියේ ක්රියාකලාපයට විරෝධය දැක්වූහ.
කොළඹින් පැමිණි පොලිස් කණ්ඩායමේ ප්රධානියා මෙහිදී දැනුම්දී සිටියේ, ඥානසාර හිමියන්ට එරෙහිව ඇති වරෙන්තුවකට අනුව උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට පැමිණි බවයි.
මේ අවස්ථාවේදී ඥානසාර හිමියන් දැඩි ආවේගශීලීව පොලිස් නිලධාරීන්ට දොස් පවරන්නට වූ අතර, ඥානසාර හිමියන්ට සහාය පළ කළ පිරිස්ද පොලීසියට දැඩි ලෙස දොස් පැවරූහ.