ජෙරුසලම, ඊශ්‍රායෙලයේ අගනුවර බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනිමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් වූ යෝජනාවේදී ඇමෙරිකාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ශ්‍රි ලංකාව කටයුතු කළේය.
මේ පිළිබඳව පැහැදිලි කරන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ජෙරුසලම ඊශ්‍රා යෙලයේ මෙන්ම පලස්තීනයේ අගනුවර ලෙස දෙරටටම පොදු විය යුතු බවයි.
එසේම සිය ඡන්දය කිසිම විටක එක්සත් ජාතීන්ගේ සාමාජික රටකට එරෙහිව භාවිත කළ ඡන්දයක් නොවන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
"ශ්‍රී ලංකාව මෙම යෝජනාවට පක්ෂව සිය ඡන්දය ලබා දුන්නේ, ජෙරුසලම යනු පලස්තීනය සහ ඊශ්‍රායලය යන දෙපාර්ශ්වයේම නීත්‍යානුකූල අභිලාෂයන් සැලකිල්ලට ගනිමින්, එක්සත් ජාතීන්ගේ අදාල යෝජනා සම්මතයන් මත පදනම්ව දෙපාර්ශවය අතර සාකච්ඡා මගින් විසඳා ගත යුතු, තවමත් නොවිසැඳුණු ගැටලුවක් බවත්, ජෙරුසලම, ඊශ්‍රායලය සහ පලස්තීනය යන රාජ්‍යයන් දෙකෙහිම පොදු අගනුවර විය යුතු බවත් යන ජාත්‍යන්තර අවබෝධයට එකඟව, දීර්ඝ කාලයක් තිස්සේ දරන ලද සාම්ප්‍රදායික සහ ප්‍රතිපත්තිමය ස්ථාවරය මත පදනම්වය.
2017 දෙසැම්බර් 21 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දසවැනි හදිසි විශේෂ සැසිවාරයේදී සම්මත කරගනු ලැබූ යෝජනා සම්මතය මෙම ස්ථාවරය යළි තහවුරු කරන අතර, ශ්‍රී ලංකාව එම යෝජනාවට පක්ෂව ලබා දුන් ඡන්දය එක්සත් ජාතීන්ගේ කිසිදු සාමාජික රාජ්‍යයකට එරෙහිව ලබා දුන් ඡන්දයක් නොවේ.
සාකච්ඡා මාර්ගයෙන් සියලුම ගැටලු නිත්‍ය ලෙස විසැඳුණු , ඊශ්‍රායලය සහ පලස්තීනයේ පොදු අගනුවර බවට ජෙරුසලම පත්වූ, එකිනෙකා අසල පිහිටි රාජ්‍ය දෙකක් ලෙස සාමයෙන්, සුරක්ෂිතබවෙන් සහ අන්‍යොන්‍ය පිළිගැනීමෙන් යුතුව ජීවත්වීමේ දැක්ම යථාර්ථයක් කරගැනීමෙන් පමණක් දෙපාර්ශ්වයේම නීත්‍යානුකූල අපේක්ෂාවන් ඉටු කරගෙන තිරසර සාමය උදාකරගත හැකිය යන ස්ථාවරයේ ශ්‍රී ලංකාව රැඳී සිටියි.
එබැවින්, අදාල සියලුම පාර්ශ්ව සංයමයෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, සාකච්ඡා මාර්ගික විසැඳුමකට එළැඹීම සඳහා අවශ්‍ය කරන, සියලුම නොවිසැඳුණු ගැටලු නිරාකරණය කරගත හැකි ඍජු සහ අර්ථාන්විත සාකච්ඡාවලට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරයි."