එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වැනි සැසිවාරයේදී දෙමළ ඩයපෝරාව විසින් ඉදිරිපත්කරන කරුණු තර්කානුකූලව අභියෝගයට ලක්කිරීමට ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ නියෝජිතයන් කටයුතු කිරීම හේතුවෙන් එක් සමාන්තර සැසියක් ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය.
මේ හේතුවෙන් එම සැසිවාරය විසුරුවා හැරීමට සංවිධායකයන්ට සිදුවිය. සංහිඳියාව සම්බන්ධයෙන් ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ගෝලීය දෙමළ සංසදය හා ශ්‍රී ලාංකේය ගෝලීය සංසදය විසින් පෙරේදා (19දා) ජිනීවාහීදි සංවිධානය කර තිබුණු සමාන්තර සැසි දෙකෙන් එකකදී මෙම තත්ත්වය ඇතිවිය.
මෙහිදී දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් කරුණු දක්වමින් සිටිමහාචාර්ය 'ඩි සයාස්' නැමති යුරෝපීය උපදේශකයෙකු විසින් ලංකාවේ සිංහල ජනතාව විසින් දෙමළ කතාකරන මුස්ලිම් ජනතාව විශාල වශයෙන් සමූල ඝාතනය කරන බවට කළ ප්රකාශයත එමෙන්ම 'පෝල් නිවුමන්' නැමති දෙමළ ඩයස්පෝරා නියෝජිතයා විසින් වසර 100 ක් තුළ ත්‍රිකුණාමලයේ සිංහල ජන ප්‍රතිශතය ඉහළ යාම ගැන රජයට දොස්න ගමින්කළ ප්‍රකාශයත් ආචාර්ය නාලක ගොඩහේවා විසින් අභියෝගයට ලක් කරනලදී.
ආචාර්ය ගොඩහේවා ප්‍රශ්න කර සිටියේ,1990 වසරේ යාපනය අර්ධද්වීපයේ වාසය කළ මුස්ලිම් ජනතාවට පැය 48 ක් තුළ පිටව යන ලෙස එල්.ටී.ටී.ඊ ය අණ කළ හැටිත්, මායිම් ගම්මානවල ජීවත්වූ සිය ගණනක් මුස්ලිම් ජනතාව මරාදැමූ හැටිත් අමතකද යන්නයි.
එසේම 1990 දී කාත්තන්කුන්ඩි ප්‍රදේශයේ පල්ලියක් තුළ යාඥා කරමි සිටි මුස්ලිම් ජාතිකයන් 147ක් කොටි ත්රස්තවාදීන් විසින් ඝාතනය කර දැමූ හැටිද ආචාර්ය ගොඩහේවා මතක් කළේය.
ලංකාව තුළ ඕනෑම තැනක ජීවත්වීමේ අයිතිය සිංහල,දෙමළ, මුස්ලිම්, බර්ගර් යන ඕනෑම වර්ගයක ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ඇති බව පෙන්වාදුන් ආචාර්ය ගොඩහේවා, වසර100ක් තුළ වැල්ලවත්තේ දෙමළ ජන ප්‍රතිශතය ඉහළ යාම ගැන සිංහලයන් පැමිණිලි නොකරන්නේ ඔවුන් ජාතිවාදීන් නොවන නිසා බවද පෙන්වාදුන්නේය.
මෙහිදී බාධාකරන්නට උත්සාහ කළ දෙමළ ඩයස්පෝරා නියෝජිතයන්ට එහි සිටි ශ්‍රී ලාංකේය ගෝලීය සංසදයේ අනෙකුත් නියෝජිතයන්ගේ දැඩි විරෝධයක් එල්ලවිය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගෝලීය සංසදයේ ඊශ්‍රාලයේ සම සභාපති ජනත් විමල මහතා ද්‍රවිඩ ජාතික මරණ ගැන පමණක් කඳුළු හෙළන විදෙශිකයන් වසර 30 තිස්සේ කොටි ත්රස්තවාදීන් විසින් ඝාතනය කර දමනු ලැබු සිංහල ජනතාව ගැන වචනයක්වත් කතා නොකරන්නේ මන්දැයි විමසීය.
ගෝලීය සංසදයේ තර්කවලට පිළිතුරු දීගත නොහැකි වූ සංවිධායකයෝ, සැසිය අතර මැද විසුරුවා හැරීමට කටයුතු කළහ.