ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී රෝහල්වලට ෂෙල් ප්‍රහාර එල්ල වීම සහ සාමාන්‍ය වැසියන් තුවාල ලැබීම පිළිබඳව අසත්‍ය වාර්තා ඉදිරිපත් කරන මෙන් කොටි සංවිධානය කිසිදු බලපෑමක් එල්ල නොකළ බවත්, එසේ බලපෑම් එල්ල වූ බවට කොළඹදී මාධ්‍ය හමුවේ කියා සිටියේ පොලිස් අත්අඩංගුවේ සිටියදී රජයෙන් එල්ල වූ තර්ජන නිසා බවත් මුලතිවු දිස්ත්‍රික්කයේ සේවය කළ වෛද්‍ය ටී. වර්ධරාජා පවසයි.
ජිනීවා නුවර සිට බී.බී.සී.ය සමග අදහස් දක්වමින් වෛද්‍ය ටී. වර්ධරාජා මෙසේ රජයට චෝදනා කරමින් කොටින්ට සුදු හුණු අතුරා තිබේ.
හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ජිනීවා නුවර සංවිධානය කොට තිබුණු රැස්වීමකදී අදහස් දැක්වීමෙන් පසුව ඔහු බී.බී.සී.ය.ට මේ තොරතුරු පවසා තිබේ.
සිය සහෝදර වෛද්‍යවරුන්ගේ සහ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව උදෙසා සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වීම ඔහු ප්‍රතික්ෂේප කර ඇති බවද පැවසෙයි.
යළිත් වරක් රහස් පොලිසියේ පෙනී සිටින මෙන් සිය නිවසට ලිපියක් ලැබී තිබෙන බව සඳහන් කර ඇති ඔහු, තමන්ට පැමිණිය නොහැකි නම් සිය නැගණියට හෝ පොලිසියට පැමිණෙන මෙන් එයින් දැනුම් දී ඇතැයිද සඳහන් කර ඇත.
වෛද්‍ය ටී. වර්ධරාජා යනු යුද්ධයේ අවසාන කාලයේ යුද ගැටුම කලාපයේ රෝගීන්ට ප්‍රතිකාර කළ රජයේ වෛද්‍යවරුන් අතරින් කෙනෙකු බව බී.බී.සී.ය පවසයි.
යුද්ධයෙන් අනතුරුව අත් අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරුන් පිරිස මාස ගණනක් මුළුල්ලේ රඳවා ගනු ලැබූ බවත්, 2009 ජුලි 08 වැනි දින ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ජනමාධ්‍ය හමු වූ ඔවුන් සියලු දෙනාම කොටි සංවිධානයේ තර්ජන හමුවේ යුද පෙරමුණේ තත්ත්වය අතිශයෝක්තියෙන් හුවා දැක් වූ බව කියා තිබුණි.
ඉන් අනතුරුව ඔවුන්ට යළිසේවය කිරීමට අවසර ලැබුණු බවද බී.බී.සී.ය පවසයි.
එහෙත් යුද්ධය සමයේ තමන් කිසිවක් අතිශයෝක්තියෙන් වාර්තා නොකළ බව ජිනීවා සාකච්ඡාවෙන් අනතුරුව බී.බී.සී.යට කියා ඇති මෙම වෛද්‍යවරයා, තමන් හෙළි කළ කරුණු සත්‍ය බව එහි සිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සේවකයන් පවා සනාථ කොට තිබෙන බවද පවසමින් කොටින්ට සුදු හුණු අතුරා ඇත.
විශේෂයෙන්ම තමා සේවය කළ තාවකාලික රෝහල් ගණනාවකටම ෂෙල් ප්‍රහාර එල්ල වූ බව පවසා ඇති මොහු, යුද්ධයේ අවසාන මාස තුන ඇතුලත රතු කුරුසය විසින් බරපතල තුවාල ලැබූවන 9,000 ක් මුල්ලිවයික්කාල් සහ පුදුමාතලෙයි වැනි ප්‍රදේශවල සිට ත්‍රිකුණාමලය සහ වවුනියා ඇතුළු ප්‍රදේශවලට ප්‍රවාහනය කළ අන්දම සිහිපත් කළ බවද බී.බී.සී.ය පවසයි.
ලක්ෂ තුනක සාමාන්‍ය වැසියන් පිරිසක් යුද කලාපයේ කොටු වී සිටියදී, එහි සිටින්නේ 80,000 ක පිරිසක් පමණක් බවට ආණ්ඩුව සත්‍ය වසන් කළේ යැයි ශ්‍රී ලංකාවට චෝදනා කරමින්, ජිනීවා මානව හිමිකම් සමුළුව අවස්ථාවේදී වෛද්‍ය ටී.වර්ධරාජා බොරදියේ මාළු බෑමක් කරන බව පෙනෙන්නට තිබෙයි.