රැකියා දීමට හෝ පඩි වැඩි කිරීම වැනි දේවලට වඩා ඉහළින් තිබෙන ප්‍රශ්න නිරාකරණය කිරීමට ජාතික ආණ්ඩුවක් අවශ්‍ය බවත් විශේෂයෙන් රට තුළ තිබෙන ජනවාර්ගික ප්රශ්නය ඇතුළු මූලික ප්‍රශ්නවලට ගත යුතු තීන්දු තීරණ ගැනීමට මෙම ජාතික ආණ්ඩු සංකල්පය ඉතා වැදගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඊයේ (18දා) මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා සඳහන් කළේ අවම වශයෙන් මැතිවරණයෙන් පසු අවුරුදු 2 ක් පමණ ගතවන තෙක් ජාතික ආණ්ඩුවක් ගෙන යෑමට අවශ්‍ය ආකාරයට එළඹෙන මැතිවරණය සිදු කිරීමට බලාපොරොත්තු වන බවය.
මාධ්‍ය ප්‍රධානීන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.,
'දහ අටවැනි ව්‍යවස්ථා සංශෝධනය ඉතාමත් අයහපත් සංශෝධනයක් වුණා. මෙහි දී ජනාධිපති ධුරයේ බලතල අසීමිතව වැඩි වුණා. ඒ නිසාම තමයි ජනාධිපති ධුරය ජනතාවගේ අප්‍රසාදයට ලක් වුණේ. 19 වැනි සංශෝධනය අනුව 18 අහෝසි වෙනවා. මේ අනුව මෙම බලතල අඩුවෙනවා.
මගේ ධුර කාලය අවුරුදු 6 ක් තබා ගැනීමේ හැකියාවක් තිබුණත් මම යෝජනා කළා එයත් අවුරුදු 5 ක් දක්වා අඩු කරන්න කියලා. මේ අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු 5 ක් වෙනවා. පාර්ලිමේන්තුවේ නිල කාලයත් අවුරුදු 5 ක් වෙනවා. විධායක බලතල අඩු කරන්න තමයි මම ආවේ. ඒකෙ ගැටලුවක් නෑ.ඒක අඩු කරනවා.
එසේම ව්‍යවස්ථා සංශෝධනය සහ බලතල ගැන මේ දිනවල ඇතිවෙන සංවාදය ඉතාම හොඳ ප්රජාතන්ත්රවාදී ලක්ෂණයක් ලෙස මම දකිනවා. විවිධ මත, යෝජනා චෝදනා ඉතා අත්‍යාවශ්‍යයි ඉදිරියට යන්න. මේ මත ඉදිරිපත් වීම ගැටුමක් ලෙස මම කිසිලෙසකින්වත් දකින්නේ නෑ,
පසුගිය මාස දෙකක කාලයේ දී මම දැන ගත්තා අපේ රටට ජාත්‍යන්තර වශයෙන් මොනතරම් අභියෝග තිබෙනවාද කියා. ගෙවී ගිය කාලයේ විවිධ රටවල නායකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් හමුවෙන්නට ලැබුණා. ඔවුන් සමග සාකච්ඡා කිරීමේ දී තමයි අපට ඇති අභියෝග තේරුම් ගන්න හැකි වුණේ. අපි හරියට වතුර රත්වෙනකම් නටන කකුළුවෝ වගේ කියලා මම කිව්වෙ ඒ නිසයි.
යුද්ධය අවසන් වෙලා වෙඩි හඬ අවසන් වූවාට වෙඩි පත්තු කළ පාර්ශව වල මතවාදය නැතිවෙලා නෑ. එය වෙන්වෙන්ම ගොඩනැගෙන්න දෙනවද නැත්නම් රටේ සියලු ජනකොටස් එක තැනකට ඇවිල්ලා සියලු ජනකොටස් එකතු වෙලා ඉදිරියට යනවද කියන එක අපට හිතන්න වෙනවා.
ඉන්දීය අගමැතිතුමා ගේ ඇතැම් අදහස්, උතුරු පළාතේ මහ ඇමතිතුමාගේ ප්‍රකාශ, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සමග කළ සාකච්ඡාවලදී ඔහු දැක් වූ අදහස් වලින් මෙය පැහැදිලි වුණා. තමුන්නාසේලාගේ ජීවිත කාලය තුළදීවත් නැවත යුද්ධයක් ඇති වීම වළක්වා ගැනීමේ අභියෝගය අපට තිබෙනවා. ඒ නිසා ඉතාම ඥානාන්විතව, බුද්ධිමත්ව කැපවීමෙන් වැඩ කළ යුතු වෙනවා. එයින් අදහස් කරන්නේ නෑ නැවත යුද්ධයක් ඇතිවන පසුබිමක් තිබෙනවා කියලා. එහෙත් සියලු මත එක තැනකට ගෙන ඒම වැදගත් වෙනවා. එය රටේ අනාගතය වෙනුවෙන් සිදු විය යුතු දෙයක්.
ව්‍යවස්ථා සංශෝධනය අනුව තමයි මැතිවරණ කාලය තීරණය වෙන්නේ. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැටලු ඉදිරියේ දී එනම් අප්‍රේල් මුල් සතිය වන විට නිම කරන්න හැකි වෙයි. එහි අවසන් කෙටුම්පත ගැන අවම වශයෙන් සති දෙකක කාලයක්වත් මහජනයාගේ අදහස් ගැනීමට යොමු කරන්න සියලු දෙනා කැමති වෙලා තිබෙනවා.
පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනයේ දී සුළු පක්ෂ සහ සුළු ජනකොටස්වල අයිතිය තහවුරු වෙන්න ඕනි. ඒවා ඇතිව තමයි මැතිවරණ ක්‍රමය සංශෝධනය වෙන්නේ. ඒ ගැන සාකච්ඡා වෙමින් යනවා.
මම පොදු අපේක්ෂකයා ලෙස නිතරම කිව්වේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විදියට. මැතිවරණයෙන් පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතිව පක්ෂය මාව එහි සභාපති කළා. මට දේශපාලන දර්ශනයක් ප්‍රතිපත්තියක් තියනවා. ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය සමග මම දේශපාලනය කරනවා.
එහෙත් මාව ජනාධිපතිවරයා කරපු එක්සත් ජාතික පක්ෂයට මම අකෘතඥ වෙන්නේ නෑ. අපි ජාතික ආණ්ඩු සංකල්පයක් ඉදිරිපත් කළා මැතිවරණයේ දී . එහිදී අපි කිව්වා ජනාධිපතිවරණයෙන් පස්සෙත් මහා මැතිවරණයකින් පස්සෙත් ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා කියලා. එසේ නම් මහා මැතිවරණයෙන් පස්සේ ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය පසුබිම අපි සකස් කරන්න ඕනි. අපි රට වෙනුවෙන් එකතු වෙලා වැඩ කරනවා කියන සංකල්පය ඔළුවේ තියා ගන්න ඕනි. මම කිසිසේත්ම ප්‍රාථමික තුන්වැනි පන්තියේ විවේචනවලට යොමු වෙන්නේ නෑ. දේශපාලන පක්ෂයක ඇති ප්‍රතිපත්ති වැදගත් කම සහ වැඩ පිළිවෙළ ගැන කතා කරනවා මිසක් අශීලාචාර දේශපාලනයට මම යොමු වෙන්නේ නෑ
ජාතික ආණ්ඩු සංකල්පය ගැනත් විවිධ මත තියෙනවා. එක්තරා පිරිසක් පවත්වාගෙන යන රැස්වීම් මාලාවක් තියනවා. ඒකෙ මහනුවරදි එක කතිකයෙක් කියනවා මේ යූ.ඇන්.පී එක එක්ක එකතුවෙලා ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් ගන්න මස් කටු කන්න කරන වැඩක් තමයි ජාතික ආණ්ඩුවක් කරනවා කියන්නේ කියලා. එවැනි ප්‍රකාශ කරන අය අපි බලාපොරොත්තු වන ජාතික ආණ්ඩුව මොකක්ද කියලවත් දන්නවද කියලා දන්නේ නෑ. අපි ඉන්නේ වතුර රත්වෙනකම් කකුළුවා නටනවා වගේ කියලා මම කිව්වනේ. ඒ තත්ත්වය දන්නවා නම් ජාතික ආණ්ඩු සංකල්පය ගැන ඔහොම කියන්නේ නෑ.
සැප්තැම්බරයේ දී මානව හිමිකම් කවුන්සිලයට උත්තර දෙන්න වන විට රටේ සියලු දෙනා එක හඬකින් කතා කිරීම වැදගත්. රට තුළ තිබෙන ජනවාර්ගික ප්රශ්නය ඇතුළු මූලික ප්‍රශ්නවලට ගත යුතු තීන්දු තීරණ ගැනීමට තමයි ජාතික ආණ්ඩු සංකල්පය වැදගත් වෙන්නේ. රස්සාවල් දෙන්න පඩි වැඩි කරන්න වගේ වැඩ වලට නෙවෙයි. ඊට වඩා ඉහළින් තිබෙන ප්‍රශ්න නිරාකරණය කරන්නයි ජාතික ආණ්ඩුවක් අශ්යයි. අඩුම තරමින් මැතිවරණයෙන් පසුව අවුරුදු 2 ක්වත් ජාතික ආණ්ඩුවක් ගෙන යන්න කටයුතු කරන්න අවශ්‍ය ආකාරයට තමයි මැතිවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධ ගැටලු සහගත දේවල්වලට අපි මැතිවරණයෙන් පසුව අවාධානය යොමු කරන බවයි මම විදේශීය රාජ්‍ය නායකයන්ට දැන්වූයේ. එය අලුත් ආණ්ඩුවේ වැඩක් ලෙසයි අපි සලක්නනේ.
මා හමුවුණු දෙමළ ජාතිකයන් කීවේ අපිව දෙමළ ඩයස්පෝරාව කියා හඳුන්වන්න එපා. අපට රටට ඇවිත් රටේ වැඩ කරන්න දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් හොයලා බලලා රටට යහපතක් වන දේවල් වලට අපට එකඟ වෙන්න පුළුන්. ආයෝජන කරන්න පුරවැසියෝ වශයෙන් ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම අපට හදලා දෙන්න පුළුවන්.' යැයි සඳහන් කළේය.