ජනාධිපති අපේක්ෂකයා රනිල් - අගමැති අපේක්ෂකයා සජිත් ලෙස ප්‍රසිද්ධ කරමු
2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම්කොට, ඒ බව පාක්ෂිකයා වෙත ප්‍රසිද්ධියේ දැන්විය යුතු යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය ඊයේ (15දා) රැස් වූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කොට ඇත.
අදාළ දේශපාලන මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන, දියුණුව සහ පක්ෂය දිනවීමේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා වී ඇති අතර, එහිදී විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් විධිමත් මාධ්‍ය සැලැස්මක්ද ඉදිරිපත් කොට තිබේ.
මෙම රැස්වීමේදී අදහස් දක්වමින් සමරවීර අමාත්‍යවරයා පවසා ඇත්තේ පක්ෂය තුළ එකිනෙකා වාද විවාද කරගැනීමෙන් පලක් නොමැති බවත්, 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, අගමැති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාත් නම්කොට, එය පාක්ෂිකයන් වෙත ප්‍රසිද්ධියේ දැන්විය යුතු බවයි.
මෙම ප්‍රකාශයත් සමග දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගිව සිටි ඇතැම් පිරිස් තුෂ්ණිම්භූත වූ බවද සඳහන් වන අතර, එහිදී ඒ සඳහා හේතු දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ, ගම් මට්ටමේ, බිම් මට්ටමේ පාක්ෂිකයන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වටා එක් රොක් වී සිටින බවයි.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරීමට සුදුසු යැයි පාක්ෂිකයන් විශ්වාස කරන බැවින් තම යෝජනාව ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම එහිදී තවදුරටත් සඳහන් කර ඇතැයිද වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


