පසුගිය මාසයේ සිට පිටරටින් මල් ආනයනය කිරිමට අවසර දී ඇති බවත් ශ්‍රී ලංකාවට පිටරටින් මල් ආනයනය කිරිමට අවශ්‍යතාවක් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ග්රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයට අද (04දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී එක්වෙමිනි.
එසේහම ඉදිරියේදී රටට ආනයනය කරන භාණ්ඩ පිළිබඳව සමීක්ෂණයක් සිදුකර සුදුසු සේ පමණක් ආනයනය කිරීමට තීරණය කරන බවත් ඔහු සඳහන් කළේය.
“මට ආරංචි වුණා ගිය මාසේ ඉඳලා පිටරටින් මල් ගෙන්නන්න ඕන විදියට ඕන කෙනෙකුට ඉඩ දිලයි කියලා මට දැන ගන්න ලැබුණා. මම ඊයේ මහ බැංකුවේ අධිපතිතුමා එක්කත් කතා කරන ගමන් මම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් විශේෂයෙන්ම සඳහන් කරන්න බලාපොරොත්තු වුණා මේ පිටරටින් ගෙන් වන ආහාර සහ අනිකුත් භාණ්ඩ පිළිබඳ අපි වහාම සමීක්ෂණයක් කරලා සුදුසු දේ විතරක් අපිට ගෙන්වන්න.
මේ රටේ දේශීය මල් කර්මාන්තය තුළ විශාල පිරිසක් ඉන්නවා. දීර්ඝ කාලයක සිට සිටිනවා. ඒ අතරේ කවුරු හරි හදනවා පිටරටින් මල් ගේන්න. අපිට පිටරටින් මල් ගේන්න කිසිසේත් උවමනාවක් නැහැ. මල් වගේ දෙයක් කියන කොට සමහර වෙලාවට මේකට අනුමැතිය දුන්නයි කියලා මේකට පොඩි ගානක් යන්නේ ඒක එච්චර දැනෙන ගානක් නෙවෙයි කියලා කියයි. ඔය පොඩි ගණන් එකතු කරපුවහම තමයි ලොකු ගාන හැදෙන්නේ.”