මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරයා වීමට ජනවරම ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙනගිය වංචාවට, දූෂණයට, ජාතික අසමගිය ඇති කළ ගමනට එරෙහිව බවත්, එහෙත් මේ වනවිට ජනාධිපතිවරයාත්, අගමැතිවයාත් ජනවරම පාවා දී පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි එහාට මෙහාට කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනතාවට ලබාදුන් පොරොන්දුව වන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට නැති උනන්දුවක් ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවේ පිරිස්වලට ඇමතිකම් ලබාදීමට තිබෙන බවත්, ඇමතිකම් ලබාදීමට තිබූ උනන්දුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තිබුණා නම් මේ වනවිට එය රට තුළ සම්මත වී තිබෙන බවත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
පසුගිය ආණ්ඩු කාලයේදී රාජපක්ෂ පවුලට තිබූ විවේචන සේම ඔහු වටා සිටි ඇමතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ටත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එල්ල වූ බවත්, එම පිරිසෙන් කණ්ඩායමකට නව ආණ්ඩුවේ වරදාන, වරප්‍රසාද ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රටට වහාම පැහැදිලි කිරීමක් කළයුතු බවත් ඔහු පවසා සිටියේය.
වර්තමාන ආණ්ඩුවේ ඇමතිකම් ලබාදීමත්, රාජපක්ෂ ආණ්ඩු කාලයේ ඇමතිකම් ලබාදීමත් අතර වෙනසක් නොමැති බවත්, මේ නිසා වර්තමාන ඇමති මණ්ඩලයේ විකෘති තත්ත්වයකට පත්ව තිබෙන බවත් පක්ෂ නායකවරයා සඳහන් කළේය.
උද්ගතව තිබෙන මෙම තත්ත්වය රටටත්, ජනතාවටත් අහිතකර බැවින් මෙයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ හඬක් නගනවා සේම, ජනතා බලයක් ගොඩනැගීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.