ගාල්ල වරායේ තිබූ පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එස්.ජයරත්න හා ඇවන්ගාර්ඩ් මැරිටයිම් සමාගමේ අධයක්ෂ මණ්ඩලයේ සියලු දෙනාගේ බැංකු ගිණුම් පරීක්ෂාකර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය අද (26දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
මහේස්ත්‍රාත්වරිය එම නියෝගය ලබාදුන්නේ ඇවන්ගාර්ඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේ දී ය. එම දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ යම් වරදක් සිදුවී ඇත්දැයි පරීක්සණ පවත්වන බැවින් බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර අවශ්‍ය බවයි.
දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එස්.ජයරත්න මහත්මිය යළි විදේශගතවීම වැළැක්වීමේ නියෝගයක් ද මහේස්ත්‍රාත්වරිය නිකුත් කළාය.
අවි ගබඩාව වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අවි ගබඩාව සහිත නැවේ රක්ෂණය මේ මස 31 වැනිදා අසන් වන බවයි. නෞකාව ඉතා පැරණි බැවින් තෙල් කාන්දුවක් සිදුවුවහොත් වරායට හා අවට පරිසරයට හානි සිදුවීමට ඉඩ ඇති බැවින් අවි සහිත කන්ටේනර් 22 වෙනත් නැවකට පැටවීමටත් එහි සේවකයන් මාරු කිරීමටත් අවන්ගාර්ඩ් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අවසර ඉල්ලා සිටියේය.
පාවෙන අවි ගබඩාව මහනුවර නැවෙන් වෙනත් නැවකට මාරු කිරීමට විත්තියෙන් කරණ ලද ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කැරුණු අතර පාවෙන අවි ගබඩාවේ කාර්ය මණ්ඩලය මාරු කිරීමට අවසර දුන්නාය.