ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්ත ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට එම පාර්ලිම්න්තු මන්ත්‍රී ධුරය දැරීම නුසුදුසු බව තීරණය කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අද (15දා) වනතුරු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
ඒ අනුව මෙම පෙත්සම අද දින (15දා) සලකා බැලීමට නියමිතය.
තමන් එම පාර්ලිම්න්තු මන්ත්‍රී ධුරය දැරීම නුසුදුසු බව තීරණය කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ඉවත දමන්නැයි ඉල්ලමින් ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය 09 වැනිදා ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියම කළේය.
ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සලකා බැලූ බුවනෙක අළුවිහාරේ, අනිල් ගුණරත්න සහ ප්‍රියන්ත ජයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අදාළ නියෝගය නිකුත් කෙරිණි.
ද්විත්ව පුරවැසිභාවය ලබා තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91:1 වගන්තියට පටහැනි බවත්, ඒ අනුව පාර්ලිම්න්තු මන්ත්‍රී ධුරය දැරීම නුසුදුසු බවත් තීරණය කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීරණය ඉවත දමා තමන්ට යළි පාර්ලිම්න්තු මන්ත්‍රී ධුරය දැරීමට හැකි වන අන්දමට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් ගීතා කුමාරසිංහ මහත්මිය මෙම අභියාචනය ඉදිරිපත් කොට ඇත.
ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද මෙම අභියාචනයේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කොට ඇත.
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කේ.ඩබ්ලිව්. බුවනෙක, ජේ.කේ. අමරවර්ධන ඇතුළු හතරදෙනෙකු විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිම්න්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු බව තීරණය කරමින් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.
ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු බව තීන්දු කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ එම තීන්දුව ඉවත දමන ලෙස ඉල්ලමින් පෙත්සම්කාර ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කොට ඇති මෙම ඇපෑල වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිම්න්තු මන්ත්‍රී ධුරය දැරීම නුසුදුසු බව අභියාචනාධිකරණය විසින් තීරණය කොට ඇතත්, ඇය එම ධුරයෙන් ඉවත් කිරීමට තීන්දුවක් ලබා දී නැතැයිද, එසේ වුවත් ඇයගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම්දීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පියවර ගෙන ඇතැයිද දැනුම් දුන්නේය.
මේ තත්ත්වය අනුව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමසාරිස්වරයාට කළ දැනුම්දීම වැළැක්වීමට පියවර නොගත හොත් තම සේවාදායිකාවට විශාල හානියක් වන බවද ඔහු දැනුම් දුන්නේය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් මේ සම්බන්ධයෙන් තමන්ට සිතාසි ලැබී නැති බවත් කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කිසියම් හෝ නියෝගයක් නිකුත් නොකරන ලෙසත් ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝග නිකුත් කළ අතර, මෙම පෙත්සම අද (15දා) දින සලකා බැලීමට නියමිතය.