ගිංගඟේ ජල මට්ටම මේ වනවිට අඩි දෙකකින් පමණ අඩුවී ඇති අතර, ජලය බැසයාමේ තත්ත්වයට හැරී ඇති බව ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු අමරසිරි ලියනගේ මහතා අද (29දා) සඳහන් කර සිටියේය.
මේ අතර බද්දේගම ජලමාපකය කියවීමට නොහැකි තත්ත්වයට ජලයෙන් යටවී තිබූ අතර, අද උදෑසන වනවිට බද්දේගම ජලමාපකයේ මතුවී ඇති බවද ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.
මේ අනුව උදැසන වනවිට බද්දේගම ජලමාපකයේ මිටර් 6.9ක ජල මට්ටමක් සටහන් වි තිබු අතර මෙය 2003 ඇති වු ගංවතුර තත්වයටත් වඩා වැඩි ගංවතුර තත්වයක් බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා සදහන් කළේය.
වර්ෂාව පතිත නොවුණහොත් ගැටලු ඇති නොවන බව ප්‍රකාශ කළ වාරිමාර්ග ඉංජිනේරුවරයා, එහෙත් ජලය බැසයෑමට දින ගණනාවක් ගතවිය හැකි බවද පැවසීය.
බද්දේගම ආශ්රිත පහත්බිම් රැසක් අද (29දා) උදෑසන වනවිටත් ජලයෙන් යටවී තිබූ අතර විපතට පත් ජනතාව තවමත් සහන කඳවුරුවල සිටින බවත්, එම ජනතාවට අවශ්‍ය පිසූ ආහාර ලබාදීමට බද්දේගම ප්‍රදේශීය ලේකම් කාර්යාලය මගින් පියවර ගෙන ඇති බවත්, ගාල්ල කඩවත් සතර ප්‍රදේශීය ලේකම් ඩබ්ලිව්.ඒ. සත්‍යානන්ද මහතා ප්‍රකාශ කළේය.
එම ප්‍රදේශයේ මාර්ගද තවමත් ජලයෙන් යටවී ඇති අතර, ගිංගඟ පහළ නිම්නයේ පිහිටි ගාල්ල කඩවත්සතර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් හතකට තවමත් ගංවතුර තත්ත්වය බලපා ඇති බව හෙතෙම පැවසීය.
එම ප්‍රදේශවල ජනතාවට පිසූ ආහාර ලබාදීමට කටයුතු කර ඇති බවද ප්‍රදේශීය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
