ජනපති නිසි පරිදි කඩුව වැනුවා නම් අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන් කැපී යා යුතුව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
අද (08දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“අද වගේ දවසක තමයි මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රට පාලනය කරන්න වරම දුන්නේ. වෙනත් වචනවලින් කිව්වොත් ජාතික කොඩියේ ඉන්න සිංහයා අතේ තිබෙන කඩුව ජනාධිපතිවරයාට භාරදීලා අදට වසර තුනක් වෙනවා. ජාතික කොඩියේ සිංහයා අත තියෙන කඩුව සංකේතවත් කරන්නේ ජනතා බලය සහ යුක්තියයි. ජනතාව මේ කඩුව ජනාධිපතිවරයා අතට දුන්නේ ජනතාව වෙනුවෙන් යුක්තිය උදෙසා භාවිත කරන්න.
අවාසනාවට අපේ ජනාධිපතිවරයා වසර තුනක් පුරාවට අලංකාරයට කඩුව අතේ තියා ගෙන හිටියා මිස වැඩක් අරන් නෑ. ජනාධිපතිවරයා කඩුව හරියට වැනුවා නම් බැඳුම්කර වංචාවට අගමැති කැපෙන්න ඕනෑ. අල්ලස් වරදට රවී කරුණානායක මන්ත්‍රීවවරයා කැපෙන්න ඕනෑ. කැලෑ විනාශයට බද්යුදීන් ඇමතිතුමා කැපෙන්න ඕනෑ. නමුත් එහෙම සිදුවෙලා නෑ.
ජනපතිතුමන් මීට සති දෙකකට පෙර ඔන්න මම කඩුව වනනවා කවුරු කැපේ ද දන්නේ නෑ කියලා කිව්වාම සමස්ත ජාතියම මහත් බලාපොරොත්තු තබාගෙන ජනවාරි තුන ජාතිය අමතනවා බලා ගෙන සිටියා. ඒ කඩු හරඹයක් බලාපොරොත්තුවෙන්. කඩුව නම් ඔහේ වැනුවා තමයි. ඒත් කැපුණු කෙනෙක් නම් නෑ. මේක හරියට කමිං සූන් ට්‍රේලර් එකේ කඩු අරගෙන එනවා පෙන්නලා චිත්‍රපටිය බලන්න ගියාම එක සටන් ජවනිකාවක් වත් නැති කඩු නැටුමක් පමණක් තිබුණා වගේ වැඩක්.
ජනාධිපතිවරයා අද සිටවත් හරියට කඩුව වනන්න සූදානම් නම් අන්න ටොප් ටෙන් දූෂණ පැමිණිලි දහය තවමත් අල්ලස් කොමිසමේ පුස් කකා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එතුමන්ට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්.” යැයි ද පවසා සිටියේය.