පන්නිපිටිය, දෙවුරම් වෙහෙර විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමි සන්තකයේ සිටි අලි තිදෙනෙකු මුදල් ගනුදෙනු පියවීම සඳහා සම්බෝධි විහාරාධිපති ධරනාගම කුසලධම්ම හිමියන්ට විකුණා ඇති බවට අද (24දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහතා අනාවරණය කළේය.
හෙතෙම මේ බව අනාවරණය කළේ ශිරාන් රොෂාන් හෙවත් 'අලි රොෂාන්' නමැත්තා නීතිවිරෝධීව වනයේ සිටින අලිඇතුන් අල්ලා වෙනත් පර්ශ්වවලට විකුණුවේ යැයි පවතින චෝදනා සම්බන්ධ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී රජයේ අධිනීතිඥවරයා පවසා සිටියේ, හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කරන අලි පොතෙහි අලි ඇතුන් 359 ලියාපදිංචි කර ඇති බවත්, එයින් අලිඇතුන් 39 ක් නීතිරෝධිව විකිණීමට අලි රොෂාන් නමැත්තා සම්බන්ධ බවත්ය. එම අලි පොතෙහි ලියාපදිංචි වීම් 17 ක් මකන දියර (ටිපෙක්ට්ස්) යොදා මකාදමා ඇති බවත්, රාජ්‍ය ආයතනයක ලේඛනයක් එලෙස මකාදැමිය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
එබැවින් මෙම සියලු කටයුතු ප්‍රශ්න සහගත බවත්, තවත් අලි ඇතුන් 08 දෙනෙකු සම්බන්ධයෙන් ලේඛනවල ප්‍රශ්න ඇති බවත් නීතිඥවරයා පැවසීය.
මීට අමතරව ප්‍රශ්න කිරීම්වලදී පන්නිපිටිය දෙව්රම් විහාරාධිපති කොළොන්නාව සුමංගල හිමියන් සන්තකයේ සිටි අලින් තිදෙනෙකු මුදල් ගනුදෙනුවක් පියවීම සඳහා සම්බෝධි විහාරයේ විහාරාධිපති ධරනාගම කුසලධම්ම හිමියන්ට විකිණූ බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.
රජයේ අධිනීතිඥවරයා තවදුරටත් පැවසුවේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අලි රොෂාන් නමැත්තා මෙම සිද්ධි ජාලයේ ප්‍රධාන මොළකරු වන බවත්, තවදුරටත් පරීක්ෂණ කරගෙන යන බැවින් සැකකරුට ඇප දීමට විරුද්ධ වන බවත්ය.
තවද මෙම සිදුවීම් ජාලය ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාවටත්, එහි අනන්‍යතාවටත් දැඩි ලෙස හානිදායක තත්ත්වයක් බව නීතිඥවරයා පවසා සිටියේය.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අලි රොෂාන් නමැත්තා අප්‍රේල් මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ලබාගෙන වැඩිදුර වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙස රහස් පොලීසියට නියෝග කළේය.