උඩරට දුම්රිය මාර්ගයේ ආරුක්කුපාලම නැරඹීමට ඉකුත් (16දා) පැමිණි ස්කෝට්ලන්ත ජාතික තරුණියන් දෙදෙනෙකුට අයත් මුදල් සහිත අත්බෑගයක් හා කැමරාවක් කොල්ලකෑ බවට සැකකරන තරුණයන් පස් දෙනෙකු ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
කොල්ලකරුවන් විසින් එම කොල්ලයෙන් අනතුරව පලා යන අයුරු එක් තරුණියක විසින් ඡායාරූපගත කිරීමෙන් අනතුරුව අදාළ ඡායරූප ඇල්ල පොලීසියට භාරදී ඇත .
ඉන් අනතුරුව ඒ ඔස්සේ විමර්ශන පැවැත් වූ ඇල්ල පොලීසියේ නිලධාරීන් සැකකරුවන් 04 දෙනෙකු එදිනම අත්අඩංගුවට ගෙන තිබේ.
තරුණිය විසින් ලබා දුන් ඡායාරූප විමර්ශන සඳහා බෙහෙවින් උපකාර වූ බව ඇල්ල පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් සමග කොල්ලකෑ මුදලින් රුපියල් දස දහසක් හා රුපියල් 56000 ක් වටිනා කැමරාව ද සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.
මෙහිදී පලා ගිය එක් සැකකරුවෙකු අද (19) පොලීසියට පැමිණ භාර වූ බව ඇල්ල පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් 5 දෙනාම කැලණිය ගෝනවල ප්රදේශයේ පදිංචි 19,20,21 යන වයස් කාණ්ඩවලට අයත් වූවන් බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.