මතුගම, යටදොළවත්ත පදිංචිව සිටි කොරියාවේ රැකියාවක නියුතු තරුණයෙකු කොරියාවේදී මුහුදට වැටී අතුරුදන් වී ඇතැයි ඥාතීහු පවසති.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ, මතුගම, යටදොළවත්ත, ශාන්ත පීටර්ස් වත්ත, නො.146 පදිංචිව සිටි බී.එම්.ඒ. අනුර ක්රිෂාන්ත (අවු.38) නමැති දෙදරු පියෙකි.
මේ පිළිබඳව අදහස් දැක්වූ අනුර ක්රිෂාන්තගේ බිරිඳ වන ඉන්දිකා සුජීවනී,
"මගේ මහත්තයා පසුගිය වසරේ ජුනි මාසයේ කොරියාවේ රැකියාවට ගියා. ඔහු කොරියාවේ හේනාම් නගරයේ මුහුදු පැළෑටි ආශ්රිත නිෂ්පාදන ආයතනයකයි රැකියාව කළේ. එයා ගිය දවසේ ඉඳලා සෑමදාම අපට දුරකථනයෙන් කතා කරනවා.
අවසන් වරට ගෙදරට කතාකළේ පසුගිය දෙවැනිදා රාත්රී 7.00 විතර. පසුදා (03 වැනිදා) කොරියාවේ සිටින එයාගේ යාළුවෙක් දුරකථනයෙන් කතාකර රැකියාවේ නිරත වෙමින් මුහුදු යාත්රාවක සිට මුහුදු පැළෑටි රැස්කරමින් සිටියදී අනුර මුහුදට වැටී අතුරුදන් වී ඇති බවත්, ඒ වනවිටත් ඔහු රැකියාව කළ සමාගම සහ කොරියානු රජය එක්ව ඔහුව සොයන බවත් කිව්වා. පසුව පොලීසියෙනුත් පැමිණ දැනුම් දුන්නා.
පසුව මම ඒ පිළිබඳව පොලීසියටත්, විදේශසේවා නියුක්ති කාර්යාංශයටත් දැනුම් දුන්නා. ඔවුන් කියන්නේ ඔහු අතුරුදන් වී ඇති බවත්, ඔහුව සොයා මෙහෙයුම් සිදුකරන බවත්. නමුත් කොරියාවේ සිටින අනුරගේ මිතුරන් පවසන්නේ මේ වනවිට ඔහු සොයන්නට මුලින් තිබූ උනන්දුව නොමැති බවයි. නමුත් ඔහුගේ මිතුරන්ගේ මැදිහත්වීමෙන් තවමත් සෙවීමේ කටයුතු සිදුවෙන බවද පැවසුවා.
අපට දරුවන් දෙදෙනෙකු සිටිනවා. වැඩිමල් දියණියට අවුරුදු හතරක් වෙනවා. කුඩා පුතුට තවම අවුරුදු එකහමාරයි. මම අදාළ අංශවල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමන්ලාගේ කාරුණික අවධානය යොමුකර අනුරව සොයා ලංකාවට ගෙනැවිත් දෙන ලෙසයි" යැයි පවසා සිටියාය.
බන්දු තඹවිට