යුනියන් බැංකුවේ කොටස් මිලදී ගැනීම සඳහා ඇමෙරිකාවේ පදිංචි කොටි හිතවාදියෙකු විසින් මෙරටට එවන ලදැයි කියන ඩොලර් මිලියන තුනක මුදල ආපසු තමාට ලබා දෙන්නැයි ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය ප්‍රතික්ෂේප කළාය.
මහ බැංකුවේ අවසරයකින් තොරව මෙම මුදල් ස්ටෑන්ටඩ් චාටඩ් බැංකුවේ ගිණුමක රඳවා තබා ගැනීමට ආධාර කරන ලදැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද චෝදනා ලැබ සිටින අතර, රාජ් රාජරත්නම් නමැත්තා කොටි සංවිධානය වෙනුවෙන් මුදල් රැස් කිරීමේ චෝදනා මත ඇමරිකාවේ සිරදඬුවම් විඳින බව හෙළි කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා දැක්වූ විරෝධතාවයන් සැලකිල්ලට ගනිමින් අදාළ මුදල් මුදාහැරීම විනිසුරුවරිය ප්‍රතික්ෂේප කළාය.
මෙම ගනුදෙනුව සිදුවී වසර 08 ක පමණ කාලයකට පසු හිටි හැටියේ විත්තිකරුගේ උපදෙස් මත බව කියමින් නීතිඥවරයෙකු ඉදිරිපත් වී මෙලෙස මුදල් ඉල්ලීම සැක සහිත බවත්, කොටින්ට අවි ආයුධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් යුරෝපයෙන් රැස්කරන ලද බවට තොරතුරු ඇති මෙම විත්තිකරු මෙම ඩොලර් මිලියන 3 ක මුදල ඉපැයූ ආකාරය ප්‍රශ්න සහගත බවද දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
රාජ් රාජරත්නම් නමැත්තා වෙනුවෙන් නීතිඥ රසික වීරතුංග මහතා කරුණු ඉදිරිපත් කරමින් දැනට ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවේ රඳවා තිබෙන ඩොලර් මිලියන තුනක මුදල තම සේවාදායකයාට මුදාහරින්නැයි ඉල්ලා සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගනේෂ් ධර්මවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම මුදල් තම සේවාදායකයාගේ ආයතන අතර ඇති ප්‍රශ්නයක් හෙයින් එම මුදල් රාජරත්නම් නැමැත්තාට මුදාහැරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන්නේ යැයි කීහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.