කහවත්ත, කොටකෙතන ප්‍ර‘දේශයේ වසර තුනක් පුරා සිදු වූ කාන්තා ඝාතන රැල්ලේ කාන්තාවන් හයදෙනෙකු ඝාතනය කළ සිද්ධීන් හතරකට සම්බන්ධ වී ඇත්තේ එකම පුද්ගලයෙකු බවත්, ඔහු මේ දක්වා අත්අඩංගුවට ගෙන තමන් වෙත ඉදිරිපත් කොට නොමැති බවත් කොටකෙතන ද්විත්ව කාන්තා ඝාතන නඩුවක සාක්ෂිදෙමින් ජින්ටෙක් ආයතනයේ විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා කීය.
පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කොට සිටියද, පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට නොකැඳවීම නිසා විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ දර්ශන කුරුප්පු මහතාගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබාදෙමින් රුවන් ඉලේපෙරුම මහතා මේ බව හෙළිකළේය.
2010 වසරේ සිට 2012 වසර දක්වා වසර තුනක කාලයක් ඇතුළත කොටකෙතන ප්‍ර‘දේශයේ සිදු වූ කාන්තා ඝාතන රැල්ලට වගකිවයුත්තා මෙම පුද්ගලයා බව හෙළි වී ඇත්තේ එක් ඝාතන සිද්ධියක් වූ ස්ථානයකදී අපරාධකරු බුලත් විටක් සපා ගැසූ කෙළ පහරක් වියළී ගිය කොස් කොළයක වැටී තිබී සොයාගත් සාම්පලයක් පරීක්ෂා කිරීමේදී බවද ඉලේපෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.
කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය හමුවේ මෙම නඩුව විභාග කෙරිණි. 2012/07/18 වැනිදා කොටකෙතනදී ලියනාරච්චිගේ ප්‍රේමවතී (63) සහ හේවාගමගේ පුෂ්පකුමාරි (23) නැමැති මව සහ දියණිය ඝාතනය කර ඔවුන් පදිංචිව සිටි නිවස තුළටම දමා ගිනි තැබූ බවට චෝදනා කරමින් නාමල් චමින්ද සිල්වා, සිසිර ප්‍රියන්ත හෙවත් තුෂාන් සහ ලොකුගම්හේවගේ මිතිල නැමැත්තන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
ඔවුන් මේ වනවිට වසර දෙකකට අධික කාලයක් පුරා රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටින අතර, ඇප පනතට පටහැනි ආකාරයට ඔවුන් රඳවා තබාගැනීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය වී ඇති බව විත්තිකරුවන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා නීතිඥ දර්ශන කුරුප්පු මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදෙමින් පවසා සිටයේ බොහෝ අපරාධවල විත්තිකරුවන් තමන්ගේ රුධිරය ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා ලබාදීම ප්‍රතික්ෂේප කළද, මේ විත්තිකරුවන් තිදෙනා මෙන්ම මෙහි රජයේ සාක්ෂිකරුවෙකු වූ ආචාරිගේ සිරිපාල නැමැත්තාද ස්වේච්ඡාවෙන් රුධිර සාම්පල ලබාදුන් බවයි.
ඔවුන්ගේ රුධිර සාම්පල සමග ඝාතනය කළ කාන්තාවකගේ යෝනියේ තිබී සොයාගත් පුරුෂ ධාතු පරීක්ෂාවට ලක්කළද ඒවායේ ඩී.එන්.ඒ. රටා ගැළපුණේ නැතැයිද, එහෙත් එම පුරුෂ ධාතු පරිගණකයට ඇතුළත් කළ පසු එය තම දත්ත ගබඩාවේ තිබූ වෙනත් අපරාධයකට අදාළ පුද්ගලයෙකුගේ ඩී.එන්.ඒ. රටාව සමග සැසඳුණේ යැයිද කී විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා එම ඩී.එන්.ඒ. රටාව හිමි පුද්ගලයා අද වනතුරු අත්අඩංගුවට ගෙන තමන් වෙත ඉදිරිපත් කොට නැතැයිද කීය.
මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන 19 වැනිදා තෙක් කල්තැබූ අතර, විත්තිකරුවන් එතෙක් රිමාන්ඩ් භාරයට පත්කෙරිණි.