1999 මහ මැතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්රචාරක රැස්වීමකට සහභාගි වූ පිරිසකට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට තීරණය කළ කුරුණෑගල ප්රාදේශීය සභාවේ හිටපු සභාපති පැට්රික් කරුණාසිංහ මහතාට (එජනිස) සහ ඔහුගේ ආධාරකරුවෙකු බව කියන පුද්ගලයෙකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය වසර 10 බැගින්වූ බරපතළවැඩ සහිත සිරදඬුවම් නියම කළාය.
අද (17දා) මෙම නඩුවේ තීන්දුව ප්රකාශයට පත්කළ අතර, පැට්රික් කරුණාසිංහ මහතා සමග කුරුණෑගල ප්රාදේශීය සභාවේ රියැදුරෙකු ලෙස සේවය කළ රොෂාන් කරුණාසිංහ නමැත්තාට මෙම දඬුවම් නියම කෙරිණි.
අදාළ නඩුව සඳහා විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනා හයකට ඔවුන් දෙදෙනා වැරදිකරුවන් බවට තීරණය කළ මහාධිකරණ විනිසුරු විජේසුන්දර මහත්මිය, ඉන්එක් චෝදනාවකට මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර, අනෙක් චෝදනා පහ සඳහා එක් චෝදනාවකට වසර දහය බැගින් වසර 50ක සිර දඬුවම් නියම කළ අතර, එම සිර දඬුවම් වසර 10කදී එකවර ගෙවීයාමට නියම කළාය.