නීතිවිරෝධී ආකාරයට රට තුළ සිටින 'කුමාර් මහත්තයා' නොහොත් කුමාර් ගුණරත්නම් නමැත්තා අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පොලීසිය සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා සඳහන් කළේය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණත් මෙතෙක් ඔහු ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාර්තා කර නොමැති බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා ආගමන විගමන හා පොලිස් දෙපාර්තමේන්තුව එක්ව ඔහු අත්අඩංගුවට ගෙන, දඩ මුදලක් අයකර රටින් පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සකස් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
නියම කරන දඩ මුදල ගෙවාදැමීමට කටයුතු නොකළ හොත් ඔහු අසාදුගත ලේඛනයට ඇතුළත් කරන බවත්, කුමාර් ගුණරත්නම් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව පොලීසියට හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.