මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණදෙන විශාල ගැටලුවක් බවට කැලිකසල පත්ව ඇති අතර, මෙම කැලිකසල යොදාගනිමින් විදුලිය නිපදවිය හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමුව ඇති බවත්, එමගින් විදුලි ක්ෂේත්රයට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට සහනයක් සැලසෙන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ පසුගියදා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවීමෙන් අනතුරුව පැවති නිලධාරී හමුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"දිනෙන් දින ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් අපට යොදාගත හැකි ජලවිදුලි සම්පත මේ වනවිට උපරිමයෙන් යොදාගෙන තිබෙනවා. පාරම්පරික ක්රමවලම රැදීසිටීමෙන් අපට ගොඩ එන්නඅමාරුයි. ඒ නිසා, බලශක්ති උත්පාදනය වෙනුවෙන් මිල අවම විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ කාලය දැන් ඇවිදින්. සාම්ප්‍රදායික බලශක්ති උත්පාදන මාර්ගයන් වෙතින් මිදී, මිල අවම විකල්ප බලශක්ති උත්පාදන මාර්ගයන් වෙත යොමුවීමෙන්, විදුලි උත්පාදනය වෙනුවෙන් ඉන්ධන සහ ගල් අඟුරු වෙනුවෙන් වැයවන මහා ධන ස්කන්ධයක් ඉතිරි කරගන්න පුළුවන්.
විකල්ප බලශක්ති උත්පාදන ව්‍යාපෘතීන් වෙනුවෙන් මේ වනවිට බලපත්‍ර නිකුත් කර ඇති ආයතන සහ පුද්ගලයින්, එම ව්‍යාපෘති ආරම්භ කර තිබේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. මේ වසරේ මාර්තු අවසන්වීමට ප්‍රථම සිය විකල්ප බලශක්ති ව්‍යාපෘති ආරම්භ නොකරන බලපත්‍රලාභීන් සොයාබලා, ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමටත්, ඒ සදහා නව ව්‍යාපෘති ආරම්භ කිරීමට ඉල්ලුම් කර ඇති එහෙත් තවමත් බලපත්‍ර ලබානොදුන් ආයෝජකයින් හදුනාගෙන, ඔවුන්ට බලපත්‍ර නිකුත් කළ යුතුයි. ඒ තුළින් අපේ විදුලිබල පද්ධතියට හැකිතාක් දුරට විකල්ප බලශක්තියේ දායකත්වය ලබාගත යුතුයි" යනුවෙන් පවසා සිටියේය.