මෙරට සියලු ක්‍රීඩාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව වසර තුනක ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹ ඇත.
ක්‍රීඩා සංගම් අතර ඇතිවන පරිපාලනමය ගැටලු මගහරවා ගනිමින් ක්‍රීඩා තරග පැවැත්වීම, ක්‍රීඩකයන් පුහුණු කිරීම, ක්‍රීඩා පුහුණුකරුවන්ගේ ගුණාත්මක සංවර්ධනය ඇති කිරීම මෙන්ම පාසල් ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩා මව් සංගම් අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීමට මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ ඉවහල්වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී පවසා තිබේ.
සියලු ක්‍රීඩා සංගම්වල නියෝජිතයන්ගේ අදහස් විමසීමෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළ සකස් කිරීම අධ්‍යාපන ලේකම්වරයා සහ පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සිදු කිරීමටත් මෙහිදී යෝජනා වී ඇත.
මෙම සාකච්ඡාවට අධ්‍යාපන ලේකම්වරයා , පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු එම ක්ෂේත්රයේ ප්‍රධානීහු සහ සියලුම ක්‍රීඩා මව් සංගම් සහ පාසල් ක්‍රීඩා සංගම් නියෝජිතයන් පිරිසක් සහභාගි වූහ.