පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දිවා රාත්‍රී විදුලි ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් හෙට (02දා) සිට කර්මාන්ත ශාලාවල පවතින විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.එලෙස විදුලිය නිෂ්පාදනය කරන ඒකකයක් සඳහා රුපියල් 36.00 ක සුවිශේෂී ගෙවීමක් සිදු කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.
එමෙන්ම ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කෙරෙන ජලාශයන්ගේ ජල ධාරිතාව 31.4% දක්වා පහළ බැස ඇති බැවින් ජල විදුලිය සැපයීමේ අභියෝගයකට මුහුණදීමට සිදුව ඇතැයිද අමාත්‍යාංශය පැවසීය. මේ හේතුවෙන් මෙම තත්ත්වය නිසා අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ දිනවල පවතින අධික උෂ්ණ අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවා කාලයේ පැවැති විදුලි ඉල්ලුම ඒකක මිලියන 38 සිට ඒකක මිලියන 45 දක්වා 18.4%කින් ඉහළ ගොස් ඇති අතර, රාත්‍රී කාලයේදී පැවැති විදුලි ඉල්ලුම මෙගාවොට් 2470 ක් දක්වා 10%කින් වැඩි වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“තුන්වෙනි වතාවටත් ලංකාවට වැසි ලබාදෙන මෝසම් නිවැරදිව ක්‍රියාත්මක නොවන මොහොතක් ලෙස මේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්. 2016 දී නිරිතදිග මෝසම හෝ ඊසානදිග මෝසම හරි ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. මේ වසරේ නිරිතදිග මෝසමත් නිසි පරිදි ලැබී නැහැ. මේ නිසා විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම 31%ටත් වඩා පහත බැස තිබෙනවා.
මේ තත්ත්වය තුළ ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදෙන්නේ බොහොම අපහසුවෙන්. මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විදුලි ඉල්ලුම තවත් වැඩි වී තිබෙනවා. දිවා කාලයේ විදුලි ඉල්ලුම 18.4%කින් සහ රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම 10%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය තුළ විදුලිය සැපයුම අර්බුදයකට ලක්ව තිබෙනවා. නමුත් පවතින මිලට අඛණ්ඩව විදුලිය ලබාදීමට පාරිභෝගිකයන්ගේ දායකත්වය අවශ්‍ය වෙනවා. රට තුළ මෙගාවොට් 500කට වැඩි ප්‍රමාණයක් කර්මාන්ත ශාලා හිමියන්ගෙන් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙම ඒකකයක් සඳහා රුපියල් 36 ක මුදලක් ලබාදීමට සූදානම්. ඒ නිසා මැයි 02 සිට 06 වැනිදා දක්වා දිවා කාලයේ විදුලිය නිපදවීම අනිවාර්ය කිරීමට අපි අදහස් කළා." යැයි පැවැසීය.