කන්තලේ රෝහලේ ICU වසයි
පුහුණු වෛද්‍ය නිලධාරින්ගේ හිඟය නිසා කන්තලේ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය ඊයේ (01) සිට වසා දැමීමට සිදුව ඇතැයි රෝහල් බලධාරීහු පවසති.
පුහුණු වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය නිසා මීර පෙර අවස්ථාවකදීද මෙම දැඩි සත්කාර ඒකකය වසාදමා තිබුණි. කන්තලේ රෝහලේ ශල්‍යාගාරය හා දැඩි සත්කාර ඒකකය අඛණ්ඩව පවත්වාගෙන යෑමට පුහුණු වෛද්‍යවරු 12 දෙනෙකු සිටිය යුතු වුවද දැනට සිටිනුයේ පුහුණු වෛද්‍යවරු හතර දෙනෙකු පමණක් බව බලධාරිහු පවසති.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් කන්තලේ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඩී.ජී.එම්.කොස්තා මහතා පැවසුවේ, පුහුණු වෛද්‍ය හිඟය නිසා මෙම ඒකකය වසා දමා ඇති බවයි.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගින් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකක පහසුකම් ඇති අවට රෝහල්වලට රෝගින් යවන බවද වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලිපියක් යොමුකරන ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා පවසන්නේ, හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ශල්‍යාගාරයේ හා දැඩි සත්කාර ඒකකයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා වෛද්‍යවරු අට දෙනෙකු අත්‍යවශ්‍ය සේවා පදනම මත ලබාදෙන ලෙසයි.
ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

