ඒකාබද්ධ විපක්ෂයේ අනෙක් සාමාජිකයන්ද ඉදිරියේදී එම පෙරමුණෙන් ඉවත්ව යනු ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය තනිවී ඇති බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කළාය.
පළාත් පාලන මැතිවරණය සඳහා නිවිතිගල හා බළන්ගොඩ මැතිවරණ කොට්ඨාස සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව පවසා සිටියාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,
“ අපි දන්නවා පාර්ලිමේන්තුවේත් ඒකාබද්ධය කියලා කොටසක් ඉන්නවා. හැබැයි අද ඒ කොටසත් තනිවෙලා තියෙනවා. ඒකෙන් කොටසක් පහුගිය දවස්වල ගැලවි ගැලවි ගියා. හෙට අනිද්දා වෙද්දි තවත් අය යනවා. ජනාධිපතිවරයා ළඟට එන්නේ පවුල වෙනුවෙන් කටයුතු කරන කොටසක් නිසා ඒ අය ඒකාබද්ධය තුළ තනිවෙලා තියෙනවා. නාමයෝජනා හදන්නවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සහභාගි කර නොගන්න තත්ත්වයක් තමයි ඒ කණ්ඩායමේ තියෙන්නේ. නමුත් අපිට කිසිම අභියෝගයක් ඇත්තේ නෑ.” යැයිද පවසා සිටියාය.