ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග කිරීමේ තීරණයට එළැඹ තිබේ. එම දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්වීම හේතුවෙන් එක්ව තරග කිරීමේ අදහස අත්හැරදැමිය යුතුයැයි දෙපාර්ශ්වයේම අදහස වී ඇත.
ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වියයුතු බවට ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ කොන්දේසිවලට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එකඟතාවක් නොලැබීම මෙම සාකච්ඡා බිඳවැටීමට ප්‍රධාන වශයෙන් බලපෑවේය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව සිටින දේශපාලන පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමටත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සමග සිටින දේශපාලන පක්ෂ ඒකාබද්ධ පොදුජන පෙරමුණ වශයෙන් ඉදිරි මැතිවරණය ව්‍යාපාරය මෙහෙයවීමත් තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ආරම්භ කළ අවස්ථාවේ සිට මැතිවරණවලට ඉදිරිපත් කළ 'බුලත්කොළය' ලකුණ ජනතාවගේ ආකර්ෂණයක් ලබා ඇති බැවින් මෙවර මැතිවරණ ව්‍යපාරයද 'බුලත්කොළය' ලකුණ යටතේ මෙහෙයවිය යුතුයැයි ශ්‍රී.ල.නි.ප.ජ්‍යෙෂ්ඨයන් පක්ෂ නායකත්වයට පෙන්වා දී ඇතැයිද වාර්තා වෙයි.
ඉදිරි මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ආකාරය පිළිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා සඳහන් කළේ ශ්‍රී.ල.නි.ප.ජ්‍යෙෂ්ඨයන් අතරේ විවිධ මත තිබුණද, ජනතාව දන්නා ලකුණ වන 'බුලත් කොළය' ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන බවයි.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒකාබද්ධ විපක්ෂය සමග එක්නොවී වෙනම තරග කිරීම ස්ථිරයි.ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා කිරීම සඳහා ඉඩ ලබාදී තිබුණා.නමුත් තීන්දුවකින් තොරව සාකච්ඡා අවසන් වුණා.ඒ නිසා එක්ව තරග කිරීමක් සිදුවන්නෙ නැහැ.ඒ ගැන තවත් කතාකරන්න දෙයක් නැහැ
.අදින්(04දා) පසුව එළැඹෙන සතියේදී නාමයෝජනා සකස් කරද්දි පක්ෂයේ ප්‍රධානීන් ප්‍රකාශයක් නිකුත් කරාවි.මේ සම්බන්ව තීන්දුවක් ගැනීමට මධ්‍යම කාරක සභාව කැඳවීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලකුණ බුලත් කොළය.එක් එක් අයගේ මත තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ඉල්ලන්න ඕන කියලා.එහෙම කරන්න බැහැ.
අපේ පක්ෂය සමග තවත් පක්ෂ ගණනාවක් එක්ව සිටිනවා.ඒ නිසා සියලු පක්ෂ එක ලකුණක් යටතේ එකට යායුතුය කියන මතයේ පක්ෂය ඉන්නවා.ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරනවා.බුලත් කොළය ලකුණ තමයි ජනතාවට හුරුවෙලා, පුරුදුවෙලා තියෙන්නෙ.ඒක වෙනස් කරන්න ගියොත් කරදරකාරී වැඩක්.1994 ඉඳන් පුටුව ලකුණට හුරුවුණු අපේ පාක්ෂිකයා ඊට පසුව බුලත් කොළයට හුරුවුණා.පොඩි ඡන්ද හා මහ ඡන්ද සියල්ලටම පසුගිය කාලයේදී අපි ඉදිරිපත් වුණේ බුලත් කොළය ලකුණින්.ඩග්ලස් දේවාන්නදගේ පක්ෂය,තොණ්ඩමන්ගේ පක්ෂයේ කොටසක්,කොමිනිස්ට් පක්ෂයේ කොටසක්,අතාවුල්ලාගේ පක්ෂය වැනි පක්ෂ ගණනාවක් අප සමග එක්ව තරග කරනවා.
මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණයි ඉල්ලන්නෙ. වෙනත් පක්ෂ කිසිවක් නැහැ.මීට කලින් මැතිවරණවලදී සන්ධානය යටතේ කොට්ඨාස කිහිපයකට කොමියුනිස්ට් පක්ෂයෙන් දෙන්නා තුන්දෙනෙක් ඉල්ලුවා. මෙවර ඒ අයත් නැහැ.ඒ නිසා මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ තනිකරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණයි* යනුවෙන් පවසා සිටියේය.
'නෙළුම් පොහොට්ටුව' ලකුණ මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීමට එහි ජ්යෙෂ්ඨයන්තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රීකුමාර වෙල්ගම මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ අතරේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහාඉදිරි දින කිහිපය තුළදී උත්සවයක් පවත්වන බවයි.දේශපාලන පක්ෂ විස්සකට වැඩි ගණනක් අතරේ පැවැත්වූ සාකච්ඡා අවසන් කර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
'ඒකාබද්ධ පොදුජන පෙරමුණ' වශයෙන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ මෙම උත්සවය ලබන බ්‍රහස්පතින්දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී බොහෝ දුරට පැවැත්වෙනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ මේ වනවිට බස්නාහිර,දකුණ,මධ්‍යම යන පළාත්වල මැතිවරණය පැවැත්වෙන පළාත් පලාන ආයතන සඳහාත්, පුත්තලම, අනුරාධපුර සහ මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි පළාත් පලාන ආයතන සඳහාත්,උතුරු පළාතේ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති එකම පළාත් පාලන ආයතනය වන චාවකච්චේරි නගර සභාව සඳහාත්තම පක්ෂය ඇපමුදල් තැන්පත් කිරීම අවසන් කර ඇති බවයි.
ඉතිරි දිස්ත්‍රික්ක සඳහා අද(04දා), හෙට (05දා) හා අනිද්දා (06දා) යන තෙදින තුළ ඇප තැන්පත් කිරීම අවසන් කිරීමට සැලසුම් කර ඇතැයිද එම පක්ෂය පවසයි.