උතුරේ සහෝදරත්වය නැවත ඇතිවිය යුතුයි
උතුරු ප්‍රදේශයේ ජීවත් වූ සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන් යුද්ධයට පෙර සිටි අයුරින් එකම සහෝදරයන් ලෙසින් නැවත ජීවත් විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතනාභිධාන මහනායක හිමියෝ පැවසූහ.
මහනායක හිමියෝ මේ බව පැවසුවේ වව්නියාව පොලිස් සංකීර්ණයේ ඉදිකරන ලද චෛත්‍යයෙහි කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට අද (06දා) දින සහභාගී වූ අවස්ථාවේදීය.
''උතුරේ සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන් එකට ජීවත් වෙනවා. අපි අතර භේදයක් ඇති වුණේ මේ මෑතකදිනේ. මේ පළාත තුළ සියලුදෙනාම සහෝදරයන් ලෙසින් ජීවත් වූ විදිහ නැවත ඇති විය යුතුයි. මේ ඇණකොටා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අපි සමගියෙන් සමාදානයෙන් ජීවත් වීමෙන් තමයි මිනිසත් බව ඇතිවෙන්නේ.
මිනිසුන් කියන්නේ අනුන් ගැන හිතන්න පුළුවන්, ක්‍රියාකරන්න පුළුවන් පිරිසක්. මනුස්සත්වය අපි ඇතිකරගන්නට, වර්ධනය කරගන්නට ඕන. එකම සහෝදරයන් පිරිසක් කියන හැඟීම ඇතිකරගන්න ඕන. අතිගරු ජනාධිපතිතුමාගෙත්, අගමැතිතුමාගෙත්, පොලිස්පතිතුමාගෙත්, හමුදාපතිතුමාගෙත් ඒ සියලු උසස් නිලධාරීන්ගෙත් ඒ හැඟීම තියෙනවා. අනිත් අයගේ සිත්වලත් ඒ හැඟීම ඇති කරගත යුතුයි.'' යැයි උන්වහන්සේ අවධාරණය කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

