උතුරු පළාතේ ඇතිවී තිබෙන නියඟය හේතුවෙන් එම පළාතේ ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතා පාර්ලිමේන්තුවේදී අද (23දා) පැවසීය.
පානීය ජලය ලබාගත නොහැකිවීම,මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදීමට නොහැකිවීම,කෘෂිකර්මාන්තය හා සත්ත්ව පාලනය කිරීමට නොහැකිවීම යන ගැටලුවලට ජනතාව මුහුණදී තිබෙන බැවින් රජය වහා විසඳුමක් ලබාදිය යුතුබවද මන්ත්රීවරයා සඳහන් කළේය.
උතුරු පළාත පුරා නීතිවිරෝධීව වනාන්තර විනාශ කිරීම මෙම වියළි කාලගුණයටමූලික හේතුව වී තිබෙන බවද දේවානන්දා මහතා ප්රකාශ කළේය.
නීතිවිරෝධී වන විනාශ කරන පුද්ගලයන් සමග වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිටින බැවින් නීතිය ක්රියාත්මකවීමක් සිදුනොවන බවද ඒ මහතා පැවසීය.
වවුනියාව දිස්ත්රික්කයට අයත් මඩුකුලම,වේලන්කුලම,මන්කින්ඩි,මන්නාරම දිස්ත්රික්කයට අයත් නීලත්තික්කුලම,පරසින්කුලම,වලෙන්ජන්කට්ටු,ඉරණෙයි ඉලුපට්ටිකුලම,මුලතිව් දිස්ත්රික්කයට අයත් මූන්රුමුරිප්පු,වීරපාරායකුලම්,පනකාමුකුලම්,නට්ටන්කන්ඩාල් යන ප්රදේශවලමෙම නීතිවිරෝධී කටයුතු දිනපතා සිදුවන බවද මන්ත්රිවරයා සඳහන් කළේය.
උතුරු පළාතේ වනාන්තර විනාශය නතර කිරීමට පරිසර ඇමතිවරයා වශයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මැදිහත්විය යුතු බවද ඒ මහතා ප්රකාශ කළේය.