යුද සමයේදී රට වෙනුවෙන් ලේ හෙළූ රණවිරුවන් අද ජනතාව ජීවත් කිරීමට තම ලේ දන් දෙනවා. උතුරේ ජනතාවගෙන් වැඩි දෙනෙකුගේ ඇගේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
යාපනය පලාලි ගුවන් හමුදා කඳවුරේ ඊයේ (08දා) සවස පැවති උතුරු පළාත් 08 වන රණවිරු සැමරුමට සහභාගී වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව පවසා සිටියේය.
පලාලි පිහිටි රණවිරු ස්මාරකය අසලදී ආචාර පෙළපාළි හා පුෂ්පෝපහාර පැවත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,
‘‘අද අපි මේ සැමරුම සමරන්නේ කුලයට, ජාතියට, ආගමට, ප්‍රදේශයක ජයග්‍රහණයක් විදිහට නෙමෙයි මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක් විදිහටයි. එදා රණවිරුවන්ට කරපු රාජකාරියට වැඩි යමක් කරන්න වෙලා. අද රටේ ආර්ථිකය දියුණු කරන්නට කැපවෙන්න වෙලා.
ජනාධිපති වරයාට ලැබුණු වරම තමයි අද මේ රටේ සංහිඳියාව ගොඩනැගීම. හමුදාවේ නායකයා ඔහු කැපවෙන්නේ මේ සංහිඳියාව වෙනුවෙනුයි. අද ආයුධ ඇතිව ආයුධ නැතිවා සේ මේ හමුදාව සිදුකරන කැප කිරීම ඉමහත් ප්‍රශංශනීයයි. එදා ලේ හැලුවේ මේ රට ජාතිය වෙනුවෙන්. අද ඒ බේරගත්ත ජනතාව ජීවත් කරන්න ලේ දන් දෙනවා.” යැයිද පවසා සිටියේය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි , කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.කාරියකරවන මහත්වරු සහ රණවිරු අධිකාරියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම රණවිරුවෝද මෙම අවස්ථාවට සහභාගී වූහ.