ඊශ්‍රායලයේ රැකියාවට ගොස් සිය ගිවිසුම්ගත කාලය ඉක්මවීමෙන් පසු නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රමිකයන් හේතු කරගෙන ඊශ්‍රායල් රැකියා අවදානමක් ඇතිව තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (16දා) විදේශ රැකියා ඒජන්සි ආයතනයේ පැවැති, ඊශ්‍රායල් රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
ඊශ්‍රායල් කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා කාර්තුවක් සඳහා පමණක් ශ්‍රමිකයන් වෙනුවෙන් මාස 06ක් සඳහා වීසා හිමිවන බවත්, එම කාලය අවසන් වීමෙන් පසු ශ්‍රමිකයන් දිවයිනට පැමිණිය යුතු අතර, එසේ පැමිණෙන ශ්‍රමිකයන්ට නැවත වරක් තමන් සේවය කළ ස්ථානයට යෑමට හැකිවන බවත් ඇය සඳහන් කර සිටියේය.
මේ අනුව නීතිවිරෝධීව එරට රැඳී සිටීම හේතුවෙන් තවත් ලාංකිකයෙකුට රැකියා අවස්ථාවක් අහිමිවීමේ අවදානමක් ඇතිව තිබෙන බවද අමාත්‍යතුමිය සඳහන් කළාය.
2015 වර්ෂයේ ඊශ්‍රායල් රැකියා හිමිවූයේ 85ක් පමණ බවත්, තමන් 2016 වර්ෂයේ ඊශ්‍රායලයේ සිදුකළ සංචාරය අතරතුරදී කල ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස 2016 වර්ෂයේදී රැකියා අවස්ථාවන් 369ක් ලැබුණු බවත් පැවසූ අමාත්‍යවරිය, මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රමිකයන් 187ක් සඳහා ඊශ්‍රායල් රැකියා අවස්ථා හිමිවී ඇති බව සඳහන් කළාය.
මීට අමතරව තම ගරුත්වය හා තම රටෙහි ගරුත්වය ආරක්ෂා කරගනිමින් රැකියාවල නිරත වන ලෙසද ඇය ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටියාය.