හලාවත ප්රදේශයේ සිට මුන්දලම කීරියන්කල්ලිය ප්රදේශයට පැමිණ ඉබ්බන් දඩයමේ යෙදී ආපසු යමින් සිටි පියපුතු දෙපළක ඇතුළුව පුද්ගලයන් සිවුදෙනෙකු ඊයේ (20දා) සවස අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී ඉබිමස් තොගයක්, තියුණු ආයුධ 03ක් හා ත්රිරෝද රථයක් පොලිස් බාරයට ගෙන තිබේ.
ත්රිරෝද රථයකින් පැමිණි පිරිසක් කීරියන්කල්ලිය කළුපාලම ඇළේ ඉබ්බන් දඩයමක යෙදී සිටින බවට මුන්දලම පොලීසියට ලැබුණු තොරතුරක් අනුව වැටලීමක් සිදුකර ඉබිමස් කිලෝ පහ හමාරක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
අනතුරුව එම සැකකරුවන්ගෙන් කළ ප්රහ්න කිරීම්වලදී තවත් සැකකරුවන් දෙදෙනෙකු ඉබ්බන් දඩයම සඳහා හලාවත ප්රදේශයේ සිට ත්රිරෝද රථයකින් පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.
එසේ පැමිණි සිවුදෙනාගෙන් දෙදෙනෙකු දඩයමෙන් පසුව බස් රථයකින් ආපසු යෑමටත්, දෙදෙනෙකු ත්රිරෝද රථයෙන් ආපසු යෑමටත් තීරණය කර ඇතැයි හෙළිව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත අදාළ ත්රිරෝද රථය හා මරාදමා නොතිබුණු කිලෝ 02ක් පමණ බරැති ගල් ඉබ්බෙකු සමග සෙසු සැකකරුන් දෙදෙනා 61 හන්දිය, පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් හා නඩු භාණ්ඩ පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
කරුවලගස්වැව - ජයරත්න වික්රමාරච්චි