ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් ප්රවාහන බලපත් හිමි පෞද්ගලික තෙල් බවුසර් මගින් කාලයක් තිස්සේ සිදුකළ ඩීසල් වංචාවක් හෙළිකර ගැනීමට ඛනිජ තෙල් නීතිගත ගබඩා පර්යන්තයේ විමර්ශන නිලධාරීහු ඊයේ (23දා) සමත් වූහ.
පැණිදෙණියේ පිහිටි පේරාදෙණිය තොග තෙල් ගබඩාවේ සිට රැගෙන ගිය ඩීසල් තොග පල්ලකැලේ පිහිටි බලශක්ති උත්පාදන පෞද්ගලික සමාගමකට ලබාදීමේදී තෙල් බවුසර් රියදුරන් හා රිය සහායකවරුන් මෙම තෙල් වංචාව සිදුකරන බව හෙළිව තිබේ.
බවුසරයක ඩීසල් ලීටර් 33,000ක් ප්රවාහනය කරන අතර, එම ඉන්ධන පොම්ප කරනුයේ ඩීසල් ලීටර් ලක්ෂ පහක් ගබඩා කළ හැකි ටැංකියකටය. එවැනි විශාල තොග තෙල් ප්රමාණයක් ගබඩා කිරීමේදී තෙල් වංචා කිරීම් නිවරදිව ගණනය කළ නොහැකි බව විමර්ශ නිලධාරීහු පෙන්වා දෙති.
සියලුම ඉන්ධන අදාළ සමාගම වෙත ලබාදිය යුතු වුවද, රියදුරන් හා රිය සහායකවරුන් යම් තෙල් ප්රමාණයක් බවුසරයේ ඇති ටැංකිවල සඟවා ගන්නා බව මෙම වැටලීමේදී අනාවරණය වී තිබේ. බවුසරයේ මැද ටැංකි දෙකක සම්පූර්ණයෙන්ම තෙල් සඟවා තැබිය හැකි අතර, තෙල් ප්රවාහනය කරන නළවලින්ද ලීටර් දහසක පමණ තෙල් ප්රමාණයක් සඟවා තබා ගත හැකි යැයිද හෙළිව තිබේ.
පල්ලෙකැලේ ප්රදේශයේ ඊයේ (23දා) රැකසිටි නිලධාරීන් චංචා කළ ඉන්ධන සහිත එම තෙල් බවුසර්, රියදුරන් හා රිය සහායකයන් සිය බාරයට ගෙන තිබේ. කෙතරම් තෙල් ප්රමාණයක් වංචා කළේද යන්න පරීක්ෂා කිරීම සඳහා අදාළ තෙල් ප්රවාහන රථ තුනක් පේරාදෙණිය තොග ගබඩාව වෙත රැගෙන පැමිණ තිබේ.
කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකරන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවත්, ඉදිරියේදී අදාළ තෙල් ප්රවාහනය කරන පුද්ගයන් සඳහා නීතිමය පියවර ගන්නා බවත් එහි නිලධාරියෙක් සඳහන් කළේය.
පේරාදෙණිය සෙනරත් බණ්ඩාර