ඇලෝසියස් - පලිසේන වෙනුවෙන් ඇප ඉල්ලයි
වත්මන් රජය සමයේ බැඳුම්කර නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුකිරීම මගින් රජයට පාඩු සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන නමැත්තන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඔවුන් වෙනුවෙන් ලිඛිත දේශන කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට ඊයේ (07දා)බාරදෙනු ලැබීය.
විත්තිකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් එම විරෝධතා හෙට(09දා) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ලට නියම කළාය.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කොට සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අංක 07, ක්වින්ස් ඇවනියු, කොළඹ 07 පදිංචි අර්ජුන් අලෝසියස් සහ එම සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අංක 21, අර්තුෂා පාර, කොළඹ පදිංචි පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඖෂධී පළිසේන නමැත්තන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
මෙම නඩුව කැඳවනු ලැබුවද, සැකකරුවන් දෙදෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් නොකරන ලදී.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මේ සම්බන්ධයෙන් ප්රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන හෙයින් ඒ සඳහා කල් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළාය.
ඒ අනුව හෙට (09දා) එම ප්රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් ලබන 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියම කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

