ලෝ ප්‍රකට ඇපල් සමාගම සිය නිෂ්පාදන එකතුවේ සුවිශේෂී පෙරළියක් සිදුකරමින් නවතම අයිෆෝන්, අයිපෑඩ් උපාංගය, ඇපල් ටීවී බොක්ස් යන්ත්‍රය මෙන්ම, ඇපල් වොච් ස්පෝට් අත්ඔරලෝසුව හඳුන්වාදෙනු ලැබීය.
ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර, බිල් ග්රැහැම් මධ්‍යස්ථානයේදී ඇපල් ප්‍රධානී ටිම් කුක් ගේ ප්‍රධානත්වයෙන් නව නිෂ්පාදන පෙළ හඳුන්වාදීම සිදුවිය.
අයිෆෝන් 6s සහ 6s ප්ලස් ලෙස නම් කෙරී ඇති නවතම ඇපල් අයිෆෝන් 3D Touch නැමති අලුත් තාක්ෂණයකින් බලගැන් වී ඇත. මෙම තාක්ෂණයේදී තිරය මත සාමාන්‍ය මට්ටමට වඩා වැඩි තෙරපුමක් ලබාදීමෙන් අමතර මෙනුවක් හෝ කිහිපයක් වෙත ගමන් කළ හැකි අතර, විශේෂ සෙල්ෆි විශේෂාංගද ලබාගත හැකි බව පවසයි. මෙවැනි තවත් සුවිශේෂී විශේෂාංග රැසක් සමග පැමිණෙන අයිෆෝන් සැප්තැම්බර් 25 වැනිදා සිට වෙළෙඳ පොළට පැමිණීමට නියමිතය.
මීට අමතරව, ඇපල් අයිපෑඩ් උපාංග අතර ඇපල් සමාගම මෙතෙක් හඳුන්වාදුන් පුළුල්ම තිරය සහිත අයිපෑඩය ලෙස අයිපෑඩ් ප්‍රෝ හඳුන්වාදීමද සිදුවිය. මෙය මොන්ස්ටර් අයිපෑඩයක් ලෙස අර්ථ දැක්වීමට බොහෝ දෙනෙකු කටයුතු කර තිබුණේ, එහි අඟල් 12.9ක අසාමාන්‍ය තිරය නිසාය. මෙය හඳුන්වාදීමත් සමග මෙතරම් විශාල තිරයක් ටැබ්ලට් පරිගණකයකට අවශ්‍යද යන්න සම්බන්ධයෙන් කතාබහක්ද අන්තර්ජාලයේ ඇති වී තිබේ.
අනාගතයේ පුද්ගල පරිගණකවල පැහැදිලි දැක්ම, අයිපෑඩය තුළින් පිළිබිඹු වන බව මෙහිදී ටිම් කුක් පවසා ඇත. ඇපල් හි නවතම 9x චිපයකින් බලගැන්වෙන මෙම අයිපෑඩය තුළින් ඩෙස්ක්ටොප් පරිගණකයක මට්ටමේ ජවයක් බලාපොරොත්තු විය හැකි බව ඇපල් සමාගමේ ෆිල් ෂිලර් පවසයි. මිලිමීටර් 6.9ක ඝනකමකින් යුතු මෙම අයිපෑඩය ස්පීකර් හතරකින් සමන්විත වෙයි. එමෙන්ම, ඊටම එක්වූ පිටත කවරය, යතුරුපුවරුවකින්ද යුතු බව පවසයි. තම මෘදුකාංග තුළ රූප මාධ්‍යයට වැඩි බලයක් ලබාදෙන ඇපල් මෙහිදී, ඇපල් පෙන්සිල් යනුවෙන් උපාංගයක්ද එකතු කර ඇත්තේ ස්ටයිලස් උපාංගයට ආදේශකයක් ලෙසිනි.
මීට අමතරව, ඇපල් ටීවී බොක්ස් යන්ත්‍රය ඇප් වැඩසටහන් හා පරිගණක ක්‍රීඩා ධාවනයේ උපරිම වින්දනය ලබාදෙන්නක් ලෙස හඳුන්වාදෙනු ලැබීය. එය බ්ලූටූත් ටච්පෑඩ් දුරස්ථ පාලකයකින් සන්නද්ධ බවද ටිම් කුක් පවසයි. මෙම උපාංගය ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ පොළට පැමිණෙනු ඇත.
මේ සමගම රන්වන් හා රෝස පැහැයෙන් යුතු ඇපල් වොච් ස්පෝට් අත් ඔරලෝසු හඳුන්වාදීමද සිදුවිය.