ඡන්ද විමසීම පැවති පළාත් පාලන ආයතනන 340 කින් ආයතන 325 කම 25% ක කාන්තා නියෝජනය තහවුරු කිරීමට හැකියාව ලැබී තිබෙන බව කැෆේ සංවිධානය පවසයි.
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රංජිත් කීර්ති තෙන්නකෝන් මේ පිළිබඳව පුවත්පත් නිවේදනයක් කරමින් දක්වන්නේ, "ඡන්ද විමසීම පැවති පළාත් පාලන ආයතනන 340 කින් ආයතන 325 කම 25% ක කාන්තා නියෝජනය තහවුරු කිරීමට හැකියාව ලැබී තිඑය 96% ක ප්රතිශතයකි. කාන්තා නියෝජනය 25% ක් නොමැතිව ස්ථාපනය වන්නේ පළාත් පාලන ආයතන 15 ක් පමණී. එයින් බහුතරයක් උතුරු - නැගෙනහිර පලාතේ පිහිටා තිබේ. සංස්කෘතික හේතු නිසා කොට්ඨාශ මට්ටමින් කාන්තාවන් ජයග්‍රහණය නොකිරීමේ ප්‍රතිඑලය පළාත් පාලන ආයතනයේ 2 හා 3 වන ස්ථාන සදහා පත්වන කණ්ඩායම් වෙත දැරීමට සිදුවේ. මෙවර ඡන්දයේ දී පොහොට්ටුව පක්ෂයට අති දැවැන්ත ජයග්‍රහණයක් හිමිවීමේ ආන්තික තත්වයතුල, 25% ක කාන්තා නියෝජනය තහවුරු කිරීමේ දී වැඩි දායකත්වයක් දැරීමට දෙවන ස්ථානයට පත් වූ එජාපයට සිදුව තිබේ.
පළාත් පාලන ආයතනයක සභික ධූර 3 ක් සහ 20% ක ඡන්ද ලැබූ දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන පනතට අනුව, 25% ක කාන්තා නියෝජනය තහවුරු කිරීම සදහා අනිවාර්යයෙන්ම කාන්තා නියෝජිතයින් තෝරා පත් කර එවිය යුතුය.
25% ක කාන්තා නියෝජනයක් කෝට්ඨාශ මට්ටමින්ම ස්ථාපනය වී ඇත්තේ මහරගම නගර සභාවේ පමණී. කොට්ඨාශ සියල්ලම ජයග්‍රහණය කළ මෝටර් බයිසිකලය ස්වාධීන කණ්ඩායමේ බහුතරයක් කාන්තාවන්වීම නිසා අතිරේක ලැයිස්තුව අවශ්‍ය පරිදි පුරවා ගැනීමට දේශපාලන පක්ෂවලට හැකියාව ලැබී ඇත. අනුරාධපුර නගර සභාවට අවම කාන්තා කොට්ඨාශ තරග කිරීමේ අවශ්‍යතාව 2 ක් විය. නමුත්, පොහොට්ටුව පක්ෂය එහි කාන්තාවන් 4 ක් ඉදිරිපත් කළ අතර, ඔවුන් සියලු දෙනා ජයගෙන ඇත. එබැවින් සියලු පක්ෂවලට අතිරේක ලැයිස්තුවෙන් නිදහසේ සභිකයින් පත් කිරීමේ අවස්ථාව හිමිවී ඇත.
කාන්තා නියෝජනය හේතුවෙන් පලාත් පාලන ආයතන ස්ථාපනය කිරීමට කල් ගත වන්නේය යන අදහස නිවැරදි නොවේ. අද වන විට පරාජිත දේශපාලන පක්ෂ හා එහි දේශාලන වියවුල් සහ කුමන පක්ෂය පශ්චාත් මැතිවරණ සන්ධානගතවීම් සිදු කරන්නේ ද යන්න පලාත් පාලන ආයතන ස්ථාපනය කිරීමට අවහිරයක් වී ඇත.
කාන්තා නියෝජනය අනවශ්‍ය ගැටලුවක් බවට පත් කර ඇත්තේ අද පවත්නා දේශපාලන අස්ථාවරත්වය ගැන වන අවධානය වෙනතකට යොමු කිරීම සදහා බව කැෆේ සංවිධානයේ අදහස යි." යනුවෙනි.