ආණ්ඩුවේ බොහෝමයක් මැති ඇමතිවරුන් මේ වන විට කලකිරීමට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසීය. එසේම කලකිරීමට පත් ඇමතිවරයෙකු හැසුරුණ ආකාරය පසුගිය දිනක දැක ගත හැකි වූ බවත් තමන්ගේ කලකිරීම පිටකිරීමට අවශ්‍ය වුවහොත් හැඬීමට වර්ෂයක් වුවත් නොසෑහෙන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.
"අපේ අමාත්‍යාංශය හරහා විශාල උනන්දුවකින් වැඩ කරගෙන යනවා. හැබැයි සමහරවිට අපිට මීට වඩා වැඩ කරන්න අවස්ථාව තිබුණ නම් මීට වඩා දෙයක් කරන්න පුළුවන්. අද අපිටත් වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. රාජ්‍ය ඇමතිවරයෙකුට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි.
ඒනිසා බොහෝ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් කලකිරීමෙන් ඉන්නේ. ඊයේ පෙරේදා දවසක එය හොඳටම දකින්න පුළුවන් වුණා සුජීව සේමසිංහ ඇමතිතුමාගෙන්. හැබැයි ඒක අපි තනියම මුහුණ දෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සමහරුන් පිට කළේ නැති වුණාට, සමස්තයක් විදිහට තිබෙන ප්‍රශ්නයක්.
සමහරවිට මට ඕක පිට කරන්න වුණොත් අවුරුද්දක් හඩා වැළපිලත් මදි. ඉතිං අවුරුද්දක් හඬා වැළපෙන්නේ නැතුව හිනාවෙලා සමහරක් වෙලාවට, වෙන අසාධාරණකම් විඳගෙන වැඩකරගෙන යනවා. එයින් කලකිරිච්ච ජනතාව අපිට බනිනවා, ඔබතුමා මොනවද ඇමතිහැටියට කරන්නේ කියලා.
අපේ අත්දෙක බැඳලා තියෙන ප්රශ්නය අපි බොහෝ අයට හෙළිදරවු කරන්නෙත් නෑ. ඉතිං මේ අවස්ථාවේ මට මෙහෙම හරි වැඩ ටිකක් කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනව"යැයිද පවසා සිටියේය.