ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් හමුවී ඒකාබද්ධ විපක්ෂය සමග ඉදිරියේදී සන්ධානයක් යටතේ කටයුතු කිරීමට සූදානම් බව දන්වා සිටියහ.
කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ (23දා) සවස පැවැත්වූ මෙම සාකච්ඡාව සඳහා එම මන්ත්‍රී කණ්ඩායමේ 15 දෙනෙකු සහභාගි වූ අතර අනුර ප්‍රියදර්ශන යාපා මහතා විදේශගතව සිටින බැවින් එම අවස්ථාවට එක්නොවුණි.
හිටපු ජනාධිපතිවරයා සහ 16 දෙනාගේ කණ්ඩායම අතර නිල වශයෙන් ඊයේ පැවැති පළමු සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.
මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැත්වූ සාකච්ඡාව ඉතා සාර්ථක බවත්,හිටපු ජනාධිපතිවරයා සමග පුළුල් සන්ධානයයක් වශයෙන් වැඩකිරීමට ගිවිස ගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙහිදී සඳහන් කළේ,පසුගිය කාලයේදී මේ රටේ සිදුවූ දේශපාලන වෙනස්වීම් පිළිබඳ, වර්තමානයේදී සිදුවෙමින් තිබෙන දේශපාලන වෙනස්කම් පිළිබඳ හා ඉදිරියේදී විපක්ෂය සමග එක්ව කටයුතු කරන ආකාරය සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා සමග සුහද සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ සහායෙන් ඒකාබද්ධ විපක්ෂයට ශක්තිය ලබාදී ආණ්ඩුවට එරෙහිව කරන සෑම පොදු කටයුත්තකදීම කටයුතු කිරීමේ එකඟතාවක් ඇතිවූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඉදිරියේදී මැතිවරණ ලැබෙන ආකාරය අනුව පොහොට්ටුව ලකුණින් යුතු සන්ධානය සමගින් දේශපාලනය කරන බවද ඒ මහතා කියා සිටියේය.