කුමන උපක්‍රමය යොදා බලු වලිගය කෙළින් කිරීමට උත්සාහ කළද, එය නොහැක්කා සේ වත්මන් ආණ්ඩුවද කුමන ප්‍රතිසංස්කරණ තුළින්වත් කෙළින් කළ නොහැකි බව හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසා සිටියේය.
හෙතෙම මේ බව පවසා සිටියේ, ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් හමුවේ අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධුර දැරූ 16 දෙනෙකු පසුගිය විශ්වාසභංග යෝජනාවෙන් පසු ආණ්ඩුවෙන් ඉවත් වූ අතර, ඉන් 15 දෙනෙක් ඊයේ (02දා) මහනුවර පැවැති ආගමික නායක හමුවකින් පසු හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ගම්පොළ, දොළුව ප්‍රදේශයේ නිවසට පැමිණියහ.
එම මන්ත්‍රීවරුන් පිළිගත් හිටපු අග්‍රාමාත්‍යවරයා ඔවුන් සමග සුහද පිළිසඳරක යෙදීය.
එහිදී අදහස් දැක්වූ දි.මු. ජයරත්න මහතා,
''අද මේ රට හුඟක් අභාවයට ගිහින් තියෙන්නේ. තව අවුරුදු එකහමාරක් මේ ආණ්ඩුව පවත්වාගෙන යායුතු වුවත් මම හිතන්නෙ නැහැ එය කොතෙක් වෙයිද කියලා. බලු නගුට කෙළින් කරන්න බැහැ වගේ නැවත ආණ්ඩුව කෙලින් කරන්න බැහැ. මේ රටේ පසුගිය කාලයේ සියයට හතක් තිබුණු ආදායම අද 3.5ට බැහැලා. ඩොලරය දරාගන්න බැරි විදියට ඉහළ ගිහින්.
අපේ රට ලෝකයේ පිළිගත්තා කියලා මේ අය කිව්වත් ඒ රටවල් සතේකින්වත් අපට උදවු කළේ නැහැ. පසුගිය කාලයේ චීනයෙන් ගත් උදවු තමයි තාමත් යන්නේ.
බණ්ඩාරනායක මහත්තයා මධ්‍යම ප්‍රතිපදාව අනුව හැදුව පක්ෂයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ තුළින් මේ රටේ පීඩිත ජනතාවට විශාල සහනයක් සැලසුවා. ඒ වගේම සියලු ජාතීන්ටත්, ආගම්වලටත් එකසේ සැලසීම මේ රටේ සියලු ජාතීන්ගේ සමගියට හේතු වුණා. එවැනි පක්ෂයක පැරණි සාමාජිකයා වන මම කැමැති නෑ පක්ෂය පිරිහෙනවාට. රට අර්බුදයකට ලක්වන සෑම අවස්ථාවකම මේ පක්ෂය පෙනී සිටියා. අදත් මේ සිදුවී තිබෙන්නේ ඒක. ලෝකය, රට වෙනස් වන විට එයට අප අවනත වුණත් අප අපේ ප්‍රතිපත්ති පාවා දීම වෙනස් කිරීම සුදුසු නෑ'' යැයි ප්‍රකාශ කළේය.
ගම්පොළ - සුරංග දිල්හාන්